Ads Top

" ලොකු මහත්තයා "


අම්මට උන්නු එකම පුතා 
අම්මා ආදරේ වැඩි කමට කිව්වේ 

සුදු මහත්තයා කියලා 
තාත්තෙක් නැතුව උඹේ කරදඬු උස් මහත් කලා 
මතකද ?
උඹේ යාළුවා ලයිට් පත්තු වෙන 
රිමෝට් එකෙන් යන 
කාර් එකක් ගෙනත් පෙන්නුවා 
උඹට සෙල්ලං කරන්න තිබුනේ 
පොල් කොළ නයයි පොල් අතු ගොනයි 
එකත් අම්මා නේද හදල දුන්නේ 
උඹ අම්මට වද දුන්නා ලයිට් පත්තු වෙන විගඩම ඉල්ලලා 
අම්මට තිබුනා ආසාවක් 
සාරි කෑල්ලක් අරං පිළිවෙලට ඇඳලා 
උඹේ ඉස්කෝලෙට ඇවිත් 
උඹ ගැන උජාරුවෙන් අහන්ඩ 
එත් උඹට කාර් එකක් ඉල්ලලා නැහෙන්ඩ හැදුවා 
උඹේ ආසාව ඉස්සරහ අම්මගේ ආසාව 
තඹ සතේකට අම්මා නෙවෙයි මායිම් කලේ 
පොල් අතු පැලේ උඹ කාර් එක පැදෙව්වා 
රෑට අම්මා කියන කතන්දරයත් අහගෙන නිදාගත්තා 
උඹ මොකද්ද තුරුල් කරන්, උඹේ කාර් එක 
උඹ කටත් ඇරන් නිදි 
අම්මා හිනා වෙලා ඔළුව අත ගාලා 
උඹේ නළලට හාදුවක් දුන්නා සෙනෙහසේ උපරිමෙන් 
අම්මා උඹ දිහා බලලා පොල් අතු අතරින් පේන අහස 
මාරුවට බලල හිමීට කිව්වා 
" කවද හරි මගේ කොල්ල රජෙක් වගේ ජිවත් වෙන්න ඕනේ කියල "
උඹේ අම්මා හැමදාම රෑට උඹ දිහා බලල කිව්වේ සෙත් කවියක් 
අද උඹ ලොකු මහත්තයෙක් , ඔව් උඹ රජෙක් 
එත් ඒ සෙත් කවිය අද උඹට වස් කවියක් වෙලා 
සුදු මහත්තයට සුදු නෝනෙක් ලැබිලා 
නෝනගේ පදේට නටන උඹට 
අම්මගේ පදේට නටන්න හිතෙන්නෙම නැත්ද ?
උඹ වෙනස් වෙලාද ? උඹව වෙනස් කරවලද ?
එත් කවුද ?
- මේ සමාජ ක්‍රමය 
නෑ උඹ මයි . උඹේ වැරද්ද තියාන සමාජෙට දොස් කියන්ඩ එපා 



| අනූ පෙරේරා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.