Ads Top

" අෂ්ඨ ලෝක ධර්මය "


- සිටගන්න නුඹේ දෙපයින් අනුකම්පා විරහිතව -

කල්ප ලක්ෂ ගණනකින් වරම් ගත්
තිරිසනෙකු නොව මානවයෙකු නුඹ
බුද්ධි මට්ටමින් උසස් නුඹ
බුද්ධි මට්ටමින් හීන ලෙස
හසුරවන්නට හරින්න එපා අසුරයන්ට
පෙරට ගන්න නුඹේ අවංක ගති ගුණ
අලවාගෙන මනුස්සකම ලේබලය
වෙන දේ වෙන්නට ඉඩ හරින්න
නුඹ නුඹේ ඇදුරුතුමන් පිළිපදින්න
නුඹට හරි යාවි
ඇතැමුන් මිත්‍යාවෙන් නුඹව මුලා කරාවි
රැවටෙනවා නම් රැවටෙන්න
නුඹ පාඩමක් ඉගෙන ගනීවි
නැවත නොරැවටේවි
නුඹ කුමන ආගමක් නියෝජනය කලද
අට ලෝ දහම නුඹ සැමට විෂමව පඩිසන් දේ
ලාභයකදී නුඹ අවට ඕනෑ තරම් ඈයෝ
මදක් ඔවුන් හා බෙදාගන්න මදක් ඉතුරු කරගන්න
අලාභ ලබන කාලයේදී නැත කිසිත් පෙර මෙන්
ලෝක දහම තේරුම් ගන්න ඉතුරු කරගත් ලාභ එලියට ගන්න 
සතුටක් දැනුණු විට සීමාවක සිට සතුටු වන්න
තාවකාලික නොව සදාකාලික සතුට වෙනුවෙන් උත්සහ දරන්න
දුකක් දැනුණු විට දුක් වෙන්න
තාවකාලිකව හෝ සදාකාලිකව පලි නොදරන්න
ජයග්‍රහණයේදී නුඹේ අවංක දස්කම් පෙරට ගන්න
නුඹටත් වඩා නුඹේ දෙමව්පියන් ආශීර්වාද කරාවි
පරාජයේදී ඉවසීම ප්‍රගුණ කරන්න
නුඹේ ලෝකය නුඹ ඉදිරියේ කඩාවැටෙන විට,
කඳුළු කැට නොනැවතී නුඹේ දෑස් සිපගන්නා විට,
ධෛර්යවන්තයෙකු වන්න සිතට වෙර දෙන්න
නුඹ නැවත නැගිටීවි, උත්සාහයෙන්
නින්දාවකදී නොවැටෙන්න නුඹ නිවැරදි නම්
පිළිගන්න වරද නුඹ වැරදි නම්
ප්‍රශංසාවකදී නිහතමානි වන්න
හදවතින් නුඹ නුඹ ගැන ආඩම්බර වෙන්න
බොරු සෝබන කාරයෙකු නොවන්න
අටලෝ දහමින් සැප ලැබෙනකොට පාටි දාන්න පුළුවන්නම්
ඇයි අටලෝ දහමින්ම බැට කනකොට 
දේවාල, බෝධි පූජා පස්සෙන් යන්නේ
දේවාලේ කපු මහත්තයා නුඹ වෙනුවෙන් හම්බ කරන්නේ නෑ
නිහඬ බෝ ගසට නුඹේ පැතුම් ඇසෙන්නේ නෑ
මගේ ඇඳුරුතුමන් ගේ ඒකායන බලාපොරොත්තුව ඉටු කරගන්න
බෝ ගස ආධාරකයක් උනා පමණි
උන්වහන්සේගේ කෘතඥ බාවය ශ්‍රී මහ බෝධියට 
ලබාදුන්නේ ආධාරක උපකාරය නිසයි
බුදු බව ලැබුවේ උන්වහන්සේගේ ස්ව-උත්සහයෙනුයි
නුඹේ දුක පණ නැති දේකට කියන්න
පිළිමයකට ගසකට ගලකට නුඹට කැමති දේකට කියන්න
නමුත් ප්‍රති උපකාර බලාපොරොත්තු නොවන්න
ඇතැම්විට නුඹට පරිසරයේ ජීව ශක්තිය ලැබේවි
දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවි
උත්සහ නොකර කිසි කෙනෙකු ලග වැඳ වැටෙන්නට එපා
නුඹේ මව පියා නුඹේ කරදඬු උස්මහත් කලේ
කිසිවකු ඉදිරියේ අනුකම්පා ලබන්නට නොවේ
නුඹේ ශක්තියෙන් හැමෝගෙම ආශීර්වාදයෙන් නැගිටින්න
හුදෙක් මා ලියන දේ නුඹට බණ වෙන්නට පුළුවනි
විටෙක මෙය මටවත් ප්‍රායෝගික නොවන්නට පුළුවන්
අපි පෘතග්ජනයොනේ
සිතන්නට සිත ඇත කල්පනා කරන්නට මොලය ඇත
උත්සහ කරන්නට බැරි කමක් නෑ මොකද
අපි පෘතග්ජනයොනේ

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.