Ads Top

" නෑකම් ඩේටා බේස් "


කළුතර, පයාගල
සීයා බාප්පාගේ හත් දවසේ බණ ගෙදර,
හතර වටින් නෑයෝ පිරිලා
"අනේ මේ නිමාලි අක්කගේ පොඩි එකාද ? දැන් ලොකුයි නේද ?"
දැකලවත් නැති අය අම්මාගෙන් තාත්තාගෙන් අහගෙන යනවා
බණ ගෙදර පැත්තක තියලා නෑකම් අඳුරගන්නවා වගේ මට නම් දැනුනේ
හැබැයි හැමෝම ගාව මනුස්සකම තිබුනා
අහංකාර කම් ගණන් කාර කම් පෙනෙන මානයේ තිබුනේ නෑ
අවුරුදු තිහ හතළිහ පරණ නෑකම් අලුත් උනා
අම්මයි තාත්තයි අඳුන්වලා දෙනවා
"පුතේ මේ අපේ මම්මාගේ ලොකු මල්ලී, අර මල්ලිකා ෂෙඩ්, මල්ලිකා ට්‍රැවල්ස් බස් එහෙම අයිති මේ සීයලට "
කාර් බාර් ජීප් පැජරෝ අස්සේ පයින් බයිසිකල් වලින් ආපු උදවියත් හිටියා
සල්ලි තියෙනවා නෑ කියලා අපේ නෑකම් හැදිලත් නෑ හැලිලත් නෑ
ඔයා අස්සේ ,
"ලලිත් අයියගේ චූටි පුතා නේද ?" අයෙකු මගේ පිටට තට්ටුවක් දැමිය
" ඔව් අංකල් කවුද ?" අඳුන ගැනීමේ අපහසු මුහුණක් පෙන්නමින් මා ඇසීය
" අංකල් නෙවෙයි බං මම බාප්පා පුතාගේ, අයියා නම් මාව දන්නවා ඇති, පුතා එතකොට හිටියේ නෑ "
ඔහොම ඔහොම පොඩි පොඩි කතා ගොඩකට සෙට් උනා
දානේ දවසේ හවස් වරුවේ මායි තාත්තයි රැල්ල පාගන්න කියලා ගියා
වෙරළට ගියාම දැනෙන්නේ අමුතුම හැගීමක්
ඒක පසු පොස්ට්ටුවකින් වචන වලට පෙරලන්නම්
වෙරළ සීමා මායිමේ පොල් ගස් එකිනෙකට බැඳලා
තාත්තා මට හැමදේම එකිනෙක විස්තර කරනවා
අතුරේ යනවා කියන්නේ ඒකටලු ,
එකෙක් පොල් ගහ උඩ අනෙකා පාමුල ඉදං
" ලලිත් අයියේ ..... කොහෙද යන්....නේ...... ...... ..... "
මොර දෙන්නට විය
බිම උන්නු පුද්ගලයා එක පිම්මේ දුවගෙන ඇවිත් තාත්තව බදා ගත්තා
ගහ උඩ හිටි අයට අතුරත් අමතක වෙන්නට ඇති
" අම්මට සිරි විජිත් , උඹලව මම හෙව්ව ... ඉතින් ඉතින් ... " කයිය නැගලා යනවා
"පුතා දන්නවද මේ කවුද කියලා " - " නෑ තාත්තේ "
"කොහේ දැනගන්නද ලලිත් අයියේ මේකා හිටියෙත් නෑ කාලේ "
" මේ අපේ බාප්පාගේ පුතා, මගේ මල්ලී , ඔයාට බාප්පා "
මද සිනහවකින් " කොහොමද බාප්පේ ? "
ඔයා කයියත් ඉවර වෙලා අපි රේල් පාර දිගේ එනකොට
මම කල්පනා ලෝකෙට වැටුනා
කෝටිපතියෝ අස්සේ රා පෙරන උදවියත් මට නෑයෝ වෙනවා
හිත ලැජ්ජාවෙන් පිරුණේ නෑ
පුදුම ආඩම්බරෙන් කල්පනා කළා 
කල්පිතය ප්‍රසිද්ධියේ මම ඔබටත් හෙන ගැම්මෙන් කියනවා
" කෝටිපති ව්‍යාපාරිකයෝ වගේම රා කට්ට ගහන
අතුරේ ගිහින් ජිවත් වෙන ඈයොගේ නෑකමුත් මට තියෙනවා "
හිතට ෆට්ටම සතුටින් මොකද නෑකම් ඩේටා බේස් එක සෑහෙන්න අප්ඩේට් උනානේ

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.