Ads Top

" දොස්තර එනකං "


 | අනූ පෙරේරා 

ඉස්පිරිතාලේටම ආවේණික පුටු බංකු මතට වී
ඔවුන් බලාසිටින්නේ ඔවුන්ගේ ජීවමාන දෙවියන් එනතුරු
හිරු නගින්නත් මත්තෙන් පැමිණ තුණ්ඩුවක් ලියා ගන්නට
පෝලිම් ගැසී සිටින්නේ ඇඟේ පතේ හයියටත් වැඩියෙන් හිතේ හයියටයි
කාසි පනම් යහමින් ගැවසේ නම් ඔවුන් මෙතැන කටු නොකයි
තේ උගුරවත් කටට හලා ගන්නේ නැතිව
මෙතැන පෝලිම් ගැසුනේ ඇඟේ පතේ අමාරුව ඉවසන්නට බැරිම තැනයි
මධ්‍යම පාංතික මිනිසුන්ට ඇති එකම සහනය
රජයේ වෙදහල
පැයක් දෙකක් ඇතැම්විට තුනක් හතරක්
කිසිම තරහක් නැතිව ඉතා ඉවසීමෙන්
තවමත් මේ සිටින්නේ ඔවුන්ගේ ජීවමාන දෙවියන් එනතුරු
කෝ මේ දෙවියන් ?
දෙවියන් පෞද්ගලික දෙවොල් තුල යහමින් හරි හම්බ කරගනිති
නැතිනම් ඔවුන්ගේ වියහියදම් බලන්නේ කවුරුන්ද ?
රජයේ වෙදහලේ බැතිමතුන්ද ?
සැවොටම පොදුවේ ලැබෙන වගන්තිය නම්
තමන් අතට තම අතමය සෙවණැල්ල
නමුත් එක් පැනයක් ?
බැතිමතුන්ගේ අදෝනාව ඇසෙන, අසන වේලාව ?
කඩිමුඩියේ එන නවීන පන්නයේ මෝටර් රථය
දැකීම බැතිමතුන්ගේ සියළු වේදනා සුවපත් කරාළු
නුඹ නොවේ දොස්තර නමුදු වේ ඔවුන්ගේ ජීවමාන දෙවියන්
වෙදනලාව කරේ හොවා එන ගාම්භීර ගමනට
ඔවුන් ගරු කලේ හිඳී අසුන් වලින් නැගිටලයි
නුඹ බෙහෙත් ලියන නුඹේ කාමරයට ඇදුනත්
නුඹෙන් බෙහෙත් ගන්නට ඔවුන් තවමත් ඉතා ගෞරවයෙන් භක්තියෙන්
" හා හා පස් දෙනෙක් ඇතුලට යන්ඩ "
අයෙක් පෝලිම් පනියි අයෙක් බැන වදින අතරේ
පස් දෙනෙක් දෙවියන් ඉදිරියේ පෙළ ගැසෙති
" එන්න, ඉඳගන්න , මොකද අමාරුව ? "
" දොස්තර මහත්තයෝ මට ................ " ලෙඩ ගණනාවක් ඔහු ඉදිරියේ වමාරයි
'දොස්තර මහත්තයා තුණ්ඩු කැබැල්ලේ මොනවද ලියයි
" හරි මේ බෙහෙත් බොන්න. දවස් තුනකින් එන්න. ඊළඟ ? "
ඔහුට පිං දෙමින් බැතිමතුන් පිළිවෙලින් නික්ම යයි

මේ සාමාන්‍යයෙන් ඉස්පිරිතාලයක දෛනිකව සිදුවන දේ. මේ දේම ටිකක් විධිමත් වුනා නම් කොච්චර වටිනවද

- පෞද්ගලික රෝහලේ තවත් රුපියල් 1000 කට පෙරේත නොවී අකුරට ප්‍රදේශයට වැඩ කරන්න පුළුවන් වුනා නම් ??
- දොස්තර එනතුරු රෝගීන්ගේ ඇති ඉවසීම අන් තැන් වලත් වලංගු වුනා නම් ??
- රෝගීන් දොස්තර අතර ඇති ලෙන්ගන්තුකම තවත් වැඩි වුනා නම් ??
- තවත් වතාවක් රෝහලට ආරාධනා නොකර ලෙඩ නොවෙන්නටත් උපදෙස් ටිකක් දුන්නා නම් ??

මේ දේවල් වෙනස් වුනොත් රෝහලක් වැහුනොත් දොස්තර පදවියට බඩේ පාර වැදුනොත් ?
තියෙන විදියටම තිබුනාවේ එහෙනං .....


Siththam Maya | Anu Perera. Powered by Blogger.