Ads Top

" සාර්ථකයි පූජා "


 | අනූ පෙරේරා  

අති සාර්ථකව අවසන් කරපු ආලෝක පූජාව ගැන උජාරුවෙන් අකුරු කරන්න ඇඟේ පතේ අමාරුව ටිකක් අඩු වෙනකම් ඉන්න වුනා. තවමත් මහන්සි උන අපේ ඇඟවල් අපේ නෙවෙයි වගේ. හැබැයි ඔළුව පොඩ්ඩක් නිරවුල්. ඒ නිසා ඔන්න මම යතුරු පුවරුවට හාදු දිදී ලොකු කම් කියවන්නයි හදන්නේ. මගේ හිතේ ඇඳිලා තිබුන පහන් 50 000 ක ආලෝක පූජාවේ සත්‍ය අනුරුව එදා මට දැක ගන්න පුළුවන් වුනා. තනියම ආපු ගමනක් නෙවෙයි හැමකෙනෙක්ම මාත් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසයි මේක හීනයක් නොවී යතාර්ථයක් වුනේ. දහස් ගණනක මිනිසුන්ට ඔවුන්ගේ ජිවිත ආලෝකයක්ම කරගන්න අවස්තාවක් වුනේ. හුදී ජන සිත් පහන් සංවේගයෙන් පිරී ඉතිරී යනකොට පහන් 50 000 කින් එකම එක පහනක් පත්තු කරලා ඉතුරු 49 999 ම ඔවුන්ටම පූජා කරගන්න අවස්තාව සලසා දෙනකොට කැපකිරීමේ සතුට දැනෙනකොට තව වෙන මොන කතා ද? අපි පොඩි උන් ටික එහෙට මෙහෙට වේවි වැඩ කරනකොට අපි ලඟින් යන එන අය නොදන්නා අපිට ආශිර්වාද කරනකොට ජනවාරියේ ඉඳන් මාර්තුව දක්වා වුනු මහන්සිය ඇස් ඉස්සරහ දියවෙලා ගියා. හැබැයි එදා ඒ ලස්සන පිටිපස්සේ අපේ දහදිය බිංදු, මහන්සිය මිල කරන්න බැරි තරමින් සනිටුහන් වෙලා තියෙනවා. දවසටම තේ උගුරක් බීලා වැඩ කරපු දවස් තිබුනා. කුල කියනවා නෙවෙයි ගොඩක් සතුටෙන් ආඩම්බරයෙන් කියන්නේ. හිතේ කිසිම දුකක් නෑ මොකද ඒ දහදිය බිඳුවක් පාසා ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාම පූජාම වෙන නිසා. අද ඒ දේවල් මතක් වෙනකොට හිතට සැනසීමක්. අඩුපාඩු ගොඩක් හදාගන්න ලොකු අවස්තාවක් උනා. සත්‍ය වහන් කරගෙන පිං කොරගන්න උවමනා නෑ. ඇත්ත නැත්ත බොහොම ලස්සනට බොහොම පිළිවෙලට මුලක ඉඳන් අකුරුගත කරන්නේ, එකක් ඔයාලත් මේ වගේ දෙයක් කරනකොට මේ වගේ අඩු පාඩු එනකොට කලින් ලෑස්ති වෙන්න පුළුවන්. ලොකුම දේ මිනිස්සුන්ගේ හිත් අඳුරගන්න පුළුවන් වෙන දේ. 

මගේම අම්මයි තාත්තයි මේ දේ බැරෑරුම් දෙයක් කියනකොට මගෙයි මගේ යාලුවගෙයි හිතේ හයියට පටන් ගත්තේ එන හැම බැනුමක්ම අහන්න බලාගෙනමයි. හැම තැනදීම මගේ පස්සෙන් හිටියේ බැනුම් අහල හිත රිද්දගන්න හැමතැනදිම මගේ හිත හැදුවේ, තරහ ගන්න හැමවෙලාවෙදීම තරහ නිව්වේ මගේ අයේෂා අක්කා. ඔව් මගේ නැට්ට වගේ යන යන තැන පස්සෙන් එනවා. කියන කිසිම දෙයකට නෑ බෑ නොකියා හරි මචං කරමු කිව්වේ ඒකි. වෙන කවුරුත් නෙවෙයි එකටම අගය කරන්නේ එයාව මම. අන්තිම මොහොත, ඒ කියන්නේ පූජාව සාර්ථක කරලා අන්තිමේට පන්සල සුද්ධ පවිත්‍ර කරන තැන වෙනකම් මාත් එක්ක කරට කර මහන්සි වුනා. ඒ මහන්සියට වටිනාකමක් ජිවිතේ ඉතුරු කාලේදී වගේම උපදින ආත්මයක් පාසා ආශිර්වාදයක්ම වෙයි. උඹට ගොඩාක් පින් අයේෂා අක්කේ. 

හැමෝම මේක දරුණුවට මහන්සි වෙන්න ඕනි ඕනි කියද්දී හිතේ හයියට කරගෙන යද්දී ඇදගෙන වැටුණු තැන් බොහොමයි. පළමු වතාවට එහෙම වැටෙනකොට මාව නැගිට්ටවන්න අයේෂටත් ශක්තියක් තිබුනේ නෑ. අපි දෙන්නම එකම තැනක අඩි ගණනක් ආපස්සට වෙලා ඉන්නකොට, බස් වල කොච්චි වල යනකොට කඳුළු අපිටත් නොදැනීම කම්මුල් තෙත් කරගන්නකොට, ආලෝක පූජාව හිතේ තිබුන චිත්‍රයට නගන්න බැරි නම් මරණය පවා තෝරාගන්න තැනට එනකොට මගේ අතින් අල්ලාගෙන මාව නැගිට්ටුවේ මගේ ලොකු නැන්දා. අනුරාධපුරේ පහන් හොයන්න තෙල් හොයන්න මාත් එක්ක කකුල් වලට පින් දිදී බඩගින්නේ ඇවිද්දේ මගේ ලොකු නැන්දා. පර්ස් එකේ සල්ලි පුරවලා සම්මාදම් තියෙනකොට මට කියලා බත් පැකට් එකක් ගන්න සල්ලි නැතිවෙනකොට අයිස් පැකට් එකකින් දවල් කෑම ශේප් කරගත්තේ උඹයි මමයි ලොකු නැන්දේ. ඒ දුක දන්නේ උඹයි මමයි විතරයි. හැබැයි මේ මොහොතේ ඒ කට්ට මතක් වෙනකොට සිය දහස් ගණනින් ඔයාට තිබ්බ ගරුත්වය වැඩි වෙනවා විනා අබ මල් රේණුවකින්වත් අඩු වෙන්නේ නෑ. ඔයා නැත්තම් අද මමත් නෑ. ආලෝක පූජාව වෙන්නෙත් නෑ ලොකු නැන්දේ. ඒ නිසා මම අනුමෝදම් කරගත්තු හැම පිනම හැම කුසලයක්ම ඔයාටම අනුමෝදම් වෙන්න ඕනි. මොකද ඔයා මට නැන්දෙක් නෙවෙයි මගේ අම්මෙක්. 

පහන් ටික අනුරාධපුරේ ඉඳන් අරන් ආවේ බොහොම සුන්දරව නම් නෙවෙයි. අපේ ලහිරු මල්ලි, ප්‍රබාත් අයියා වගේම නැවතත් ලොකු නැන්දා එක්ක අළු ගොඩවල් වල බැහැගෙන තෙල් කෑන් කරේ තියාගෙන ගොඩක් ලොකු මහන්සියක් වෙලා බොහොම ගෞරවයෙන් බුදුන් වහන්සේ වෙනුවෙන් පහන් පුරවපු පොහොර කවර ටික ලොරියක දාගෙන ආවා. සහ පූජා සාර්ථක වෙනකම් ඔය දෙන්නා වගේම ඔගොල්ලොන්ගේ යාලුවොත් ලොකුම ලොකු සහෝයෝගයක් දුන්නා. බෝධිය ගාව ලස්සන පහනක් පහන් වලින්ම හදලා, පිළිවෙලට ස්වාමින් වහන්සේට බණ දේශනා කරන්න හට් එක ගහලා ලස්සනට වැඩේ කරලා දුන්න ප්‍රබාත් අයියගේ යාළුවන්ට ගොඩාක් පිං දක්වපු සහයෝගයට. ලහිරුගේ යාළුවා තරිඳු මල්ලි ඔයාවත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. මොකද පින් ගන්න එදා ඔයා තනියම ඇවිත් මට කිව්වා. " අක්කේ ඔයාලද පූජාව කරන්නේ. මම ලහිරුගේ යාළුවෙක්. උදව් වෙන්න ආවේ " කියලා. ගොඩක් දෙනෙක් සෝබනේට එනකොට උඹ වැඩ කරන්නමයි ආවේ. ඔළුවත් ගල් කණුවක වද්දගෙන පොඩි උන් සෙට් එකත් එක්ක දුන්න සහයෝගයට ගොඩාක් පිං තරිඳු දරුවෝ. ඒ වගේම ඔයාගේ හදවතේ තියෙන පිරිසිඳු චේතනාව ළඟදීම ඉෂ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. අමතක කරන්න එපා ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තියෙන වන්දනීය පූජනීය තැනකටයි ඔයාගේ අධිෂ්ඨානය කැප වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පතන්න ඕනෙත් නෑ ඒ බලාපොරොත්තුව හරියනවා. හිතේ හයිය තියාගන්න හැමවෙලාවෙම. 

පූජා කොහෙද තියන්නේ කොහෙද තියන්නේ කිය කිය රට වටේ පන්සල් හොයා හොයා යනකොට. ඒවගෙන් අවසර නොලබෙනකොට ඉඩ ප්‍රශ්න එනකොට අන්තිමේට හිතේ දුක කියාගෙන ගියේ අවසාන මහරහතුන් වැඩ සිටි අඩවියට. ඓතිහාසික වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදෙව් රජමහ විහාරයට. විහාරාධිපති සමිත ස්වාමින් වහන්සේ බැහැදැක අපේ අදහස කිව්වම සිත් පිත් ඇති උන්වහන්සේ අපිට ආශිර්වාද කළා පමණක් නොවේ අපිට දරන්නට අපහසු හැමදෙයකම බර පැන ගත්තා. වගේම සත්පුරුෂ මිනිසුන් මුණගැස්සුවා. අපි අතින් වුනු හැම වැරද්දක්ම හැම අඩුවක්ම බොහොම සෙනෙහසින් කියලා දීලා හැමදෙයක්ම සර්ව සාර්ථක කරලා දුන්නේ උන්වහන්සේ. උන්වහන්සේගේ මහන්සිය තුල විහාරධිපතිකම්, ගරු පට්ටම් අහලකවත් තිබුනේ නෑ. අපි උන්වහසේගේ කැපකිරීම දැක්කා. උන්වහන්සේ අපේ උනන්දුව දැක්කා. ඒ දෙක හරි හරියට ගැලපුන නිසා පූජා සාර්ථක වුනා. ඒ නිසා සමිත ස්වාමින් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරත්නයටම මේ පින් අනුමෝදම් වේවා. 

වෙද මහත්තයා, සමිත ස්වාමින් වහන්සේගේ ඇසුර නිසා මුණ ගැසුන දෙවියෙක් වාගේ මිනිසෙක්. නියම නායකයෙක්. ඔහුගේ මගපෙන්වීම යටතේ අපි කැපවුණා. අපි මහන්සි වුනා. අපි මුලින්ම අදහස කියන්න ගියාම වෙද මහත්තයා ඇහුවා ඇයි මේ දේ කරන්නේ, මොකද්ද අරමුණ කියලා. ඇත්තටම අපි ළඟ විශේෂ අරමුණක් තිබුනේ නෑ. හැබැයි අහපු එකට උත්තරයක් දෙන්න ඕනි නිසා මම කිව්වා " රටට සෙත් පතලා හුස්ම ගන්න හැමකෙනෙක්ටම ආශිර්වාද කරලයි මේ දේ කරන්නේ හැබැයි විශේෂ අරමුණක් නෑ වෙද මහත්තයා. බුදුන් වහන්සේට කෙලෙහි ගුණ දක්වන්න හේතු අවශ්‍ය නෑනේ " කියලා. වෙද මහත්තයා අපි ගැන  පැහැදුනේ එතනින්. බුදුන් වහන්සේට දක්වන කෙළෙහිගුණය නිසා. පොඩි පොඩි බෞද්ධ අබෞද්ධ පැටවූ ටිකක් එකතු වෙලා මහා පරිමාණයෙන් බුද්ධ සාසනයට යමක් කරන නිසා. එතැන් පටන් අපිට බඩු බාහිරාදියෙන්, ශ්‍රමයෙන් ලබා දුන්න සහයෝගයට වෙද මහත්තයා ඇතුළු තරුණ බෞද්ධ සංගමයට ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕනි. 

දශමෙන්වත් පින බාල කරන්නට කැමති නොවූ, ( අපේ හිත ඇරෙන්න ) ප්‍රධාන වුනු එකම පුද්ගලයා අපේ විජිත ස්වාමින් වහන්සේ. අහන අහන කෙනා අපිට කිව්වේ පහන් ගණන අඩු කරන්න කියලා. අපේ මුරණ්ඩු කමට ඒ දේ කොහෙත්ම උනේ නෑ. සහ අන්තිම අන්තිම වෙනකොට හිත පොඩ්ඩක් බය උන නිසා විජිත ස්වාමින් වහන්සේ බැහැදැකලා ඒ සම්බන්ධයෙන් ඇහුවම ඒ සම්බන්දයෙන් පිළිතුරු ලැබුනම පහන් 50 000 ක් නෙවෙයි පහන් 100 000 ක් උනත් පත්තු කරන්න හිතට හයිය ආවා. ඒ හයිය දුන්නේ ලස්සන කතන්දරයකුත් කියලා දීලයි. බුදු සමයේ රහතන් වහන්සේ නමක් ( නම අමතකයි ) හිටියලු හරිම මිටියිලු. ඒ නිසා අනිත් අය උන්වහන්සේව හැමවෙලාවකම විහිළුවට ගත්තලු. ටොකු අනිනවලු හරි හරි කරදර ලු. මේක දැක්ක අනිත් රහතන් වහන්සේලා බුදු පියාණන් වෙත ගොස් ඇයි එහෙම කරන්නේ ඇයි උන්වහන්සේට හිරිහැර වෙන්න කියලා ප්‍රශ්න නගලා. පුබ්බේ නිවාසනුස්සතියෙන් පෙර ආත්මය බලනකොට බුදුන් වහන්සේ දුටුවා ඇයි එහෙම උනේ කියලා. පෙර ආත්මෙක ඒ රහතන් වහන්සේ නම බාස් කෙනෙක්. ගමේ කට්ටිය එකතු වෙලා ගමේ ලොකූ චෛත්‍යක් හදන්න වැඩ සංවිධානය කරලා. හැබැයි ඉතිං චෛත්‍ය හදන්නේ බාසුන්නැහැ නේ. එයාට ගිහින් කිව්වම එයා කියලා තියෙනවා. චෛත්‍යය ලොකු උනත් පොඩි උනත් වඳින වැඩේනේ කරන්නේ.පොඩිවට හදමු කියලා. ආත්ම ගණනක් යනකම් විතරක් නෙවෙයි මහරහත් උනත් ඒ පව පඩිසන් දුන් නිසා උන්වහන්සේ උපදින හැම ආත්මෙකම මිටි වෙලා අනිත් අයගෙන් කරදර විඳින්න වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ පුතාලත් පින කොයිම අවස්ථාවක බාල නොකර පුළුවන් උපරිමයෙන් කරන්න කියලා ආශිර්වාද කලේ. ඒ ආශීර්වාදය නිසා මාර්තු පෝය වට්ටාරම පන්සල පහන් 50 000 කින් ඒකාලෝක උනා. විජිත ස්වාමින් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදම් වේවා. 

බාගෙට මැරිලා හිටපු මටයි අයෙෂටයි අයියෝ ඉතුරු ටික කොහොමද කරන්නේ කිය කිය දෙවියන්නට කරපු කන්නලව්වට තවත් තුන්දෙනෙක් එකතු කළා. ඒ ලොකු අයියයි කුසල් අයියයි නුවන් මල්ලියි. නුවන් මලයා අසනීප තත්වයක නිසා උදව් කරගන්න බැරිව දුක් වේවි හිටියා. හැබැයි පුලු පුළුවන් හැටියට උදව් කළා. ගොඩාක් පිං මල්ලියා ඔයාට. ලොකු අයියයි කුසල් අයියයි මගේ අත් දෙක වගේ වැඩ ටික කරලා දුන්නේ. ලහිරු ප්‍රබාත් අනූ අයේෂා වගේම ඒ දෙන්නත් පෝස්ටර් වැඩේ ඉඳන්ම හිටියා. මෙතන වටිනාම දේ මොකද්ද දන්නවද? එදාට ඇවිත් " ෂා ... අනූ ලස්සනයි වැඩේ. " නොකියා සති දෙක තුනක ඉඳන්ම මගෙන් කරදර කර කර ඇහුවා. මොකද්ද වෙන්න ඕනි මොකද්ද කරන්න ඕනි. එහෙම කරමු, මෙහෙම කරමු, මේ විදියත් හොඳයි, අවසානය මෙහෙම උනොත් තවත් ලස්සනයි කිය කිය වැඩේ සර්ව සම්පූර්ණ කරන ගමන් තව අදහස් ගොන්නක් එකතු කරලා පිළිවෙල කළා. ඒ අවවාද පිළිපදින්න ලැබීමත් සතුටක් වගේම පිනක්. මුදල බාල්දු කරනවද ශ්‍රමය බාල්දු කරනවද කිය කිය ඔවුනොවුන් කරට කර වැඩ කලේ මුදලයි ශ්‍රමයයි තව තව උසි ගන්වමින්. ශ්‍රමයේ වටිනාකම ගිණුම් ගත කරන්නට මට නොහැකියි. වටිනාකම මොහොතෙන් මොහොත ඉහළ ගියා මිස පහල වැටුනේ නම් නැත. නමුත් ආලෝක පූජාව සහ සාංගික දානය වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික මුදල රු 40 000 කට වැඩි මිසක් අඩු නැත. කාටද ඔහොම ඇම්මක් තියෙන්නේ? එහෙම මිනිස්සු ඉන්නවද ? ඔව් ඉන්නවා මේ ඉන්නේ උදාහරණ. පිනේ අගය දන්නා තාරුණ්‍යය අදටත් සමාජයේ ඉන්නවා. රුපියලකින් හරි දායක වුනේ ඒකයි ඔවුන්. ලොකු අයියේ කුසල් අයියේ ඔය දෙන්නටයි ගෙදර හැමෝටමයි ගොඩාක් පිං දැක්වූ සහයෝගයට. ඔයාලගේ කකුල් අල්ලලා වැන්දේ වැඩිමහල් කමටත් වඩා පිදිය යුතු නිසාමයි. 

වට්ටාරම පන්සල එහා පැත්තේ ගෙවල් තියෙන මිනිස්සු පව්කාරකමට ගෙවල් වලට වෙලා ඕපේ හොයනකොට අපේ යාළුවො අනුරාධපුරෙන්, පොළොන්නරුවෙන්, යාපනෙන්, කොළඹින්, රත්නපුරෙන්, කෑගල්ලේන්, කුරුණෑගලින්, පොල්ගහවෙලින්, ගාල්ලෙන් ඇවිත් උදව් කළා. තේ උගුරකට සීමා වෙලා හැම වැඩක්ම පිළිවෙලට කරලා දැම්මා. අනුරාධපුරේ ඉඳන් සුපුන්, අයේෂ් ඇතුළු යාළුවො සෙට් එක ඇවිත් අපෙන් ඇහුවේ කරන දේ කියන්න අපි කරලා දෙන්නම් කියලා. අන්න පිරිමි කම. නකුට අස්සේ ගහගෙන එහෙට මෙහෙට කාලකණ්නි වෙන කොල්ලෝ අතරේ උන් අදහන්න වටිනවා. ගිනි අව්වේ අළුහුණු වලින් රටා හදලා " නමෝ බුද්ධාය " , " තෙරුවන් සරණයි " , " පූජා " , "  2 558 " යන බුද්ධ වචන පහන් වලින් හරිම ලස්සනට රටා ගත කරලා තිබුනා කොල්ලනේ ඔයාලා. මගේ අතින් වරදක් උනානම් සිය දහස් වාරයක් සමාව ඉල්ලනවා. සුපුන් සහ අයේෂ් ගේ යාළුවො හැමෝටම ගොඩාක් පින් දක්වපු සහයෝගයට. ඒ වගේම යාපනේ ඉඳන් විභාග කට මුල තියන් ඇවිත් දක්වපු සහයෝගයට දිනුෂ අයියටත් ගොඩාක් පින්. රුමේෂ් මල්ලී ඔයාගෙයි නංගිගෙයි සහයෝගයත් අමතක කරන්න බෑ. ගොඩාක් පිං ඒකටත්. 

ගෙදර මහ ලොකු වැඩ කරපු කෙල්ලෙක් නෙවෙයි හැබැයි එදා ඇවිත් වැඩ කලේ ඇඟේ හැටියට නම් නෙවෙයි. මම හිතුවෙවත් නෑ ඔච්චර සහයෝගයක් දෙයි කියලා. පෞද්ගලික දේවලුත් අන්තිම මොහොතේ නැති කරගෙන ආලෝක පූජාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. සමහර තැන් වල මම ස්තුති කරනකොට මගෙන් අහනවා අනූ මම ඇවිත් නිකම් හිටියා වගේනේ, මගෙන් වැඩක් උනෙත් නෑනේ කියලා. අනේ එහෙම මේ කියන්නේ පුළුවන් උපරිමයෙන් එක වැඩක් ඉවරත් කරලා. ඒ වචන වල ඔයාගේ උනන්දුව නිකම්ම නිකම් උනන්දුවක් නෙවෙයි පිනට කැමති බව දැක්කා මම. ඒ නිසා එදා අපිට දුන්න සහයෝගයට දිල්කි ඔයාට වගේම ගෙදර හැමෝටම ගොඩාක් පින්. 

පොළොන්නරුවේ ඉඳන් ආලෝක පූජවටම උදේ පාන්දර 3 ට විතර බස් එකේ නැගලා පන්සලට උදෙන්ම ඇවිත් මම බලනකොට චෛත්‍ය මළුව අතු ගානවා. මේ අපේ අනුපමා අක්කා. මම ආවා මම ආවා කිය කිය ඉන්නේ නැතිව ඒ වෙලාවේ ඉදලක් කොස්සක් අරගෙන වැඩ කරන එක මම ගොඩක් අගය කරනවා ඔයාගේ. ආවට, ශ්‍රමයෙන් සම්මාදම් උනාට, ගොඩාක් පිං අනුපමා අක්කියෝ.

පන්නල ඉඳලා ආවා කුමුදු නංගි. අව්වේ වැඩ කරන ගමන් හිටියේ අපි. අයෙෂාව විතරයි දන්නෙත් හැබැයි හරිම සුහදශිලියි. මාත් එක්ක හරි හරියට වැඩ කළා. මේ පාර AL කරපු පුංචි කෙල්ලෙක් හැබැයි කරගත්තු පින එයාටත් වඩා උසයි. ගොඩාක් පින් නංගෝ දක්වපු සහයෝගයට.

වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව දහම් පාසලේ දරුවෝ ටික අමතක කරන්නම බෑ. "අක්කේ මේ.... දෙතිස්ඵල බෝධිය ගාව සුද්ධ කරන්නෙත් අපි පහන් සරසන්නෙත් අපි. ආයේ වෙන කාවවත් මේ පැත්තට එවන්න එපා ... " මෙහෙම පන්න පන්න උදව් කරන කොල්ලෝ කෙල්ලෝ ටිකක් මම දැක්කමයි.හරිම සංතෝසයි එයාලගේ කැපවීමට. පහන් 2000ක් විතර පුරවපු පොහොර උර උස්සන්නම බැරි තැන කොහෙන්දෝ විල්බැරෝවක් ගෙනත් අරන් යනවා තවත් වෙලාවක මම බලනකොට. ඒ කියන්නේ ඒ ළමයින්ට බෑ කියලා දෙයක් තිබ්බෙම නෑ. මොකක් හරි විකල්පයකින් බාර දුන්න වැඩේ කරලා තිබ්බා. ඒ දරුවෝ ඔක්කොටම ගොඩාක් පින් දක්වපු සහයෝගයට.  

එදා ඇවිත් පන්සල් භුමියේ දහදිය බිඳුවක් හෙළුවත් ඒ හැමකෙනෙකුටම සතුටු වෙන්න පුළුවන් මොකද මහරහතන් වහන්සේ නමක් පය ගහපු ශුද්ධ භුමියකයි ඒ දහදිය බිංදුව වැටුනේ. රැස් කරගත්තු පින මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා ශ්‍රමයෙන්, මුදලින් වගේම වචනෙන් සහයෝගය දක්වපු එකී මෙකි නොකී හැමදෙනෙකුටම අමුතුවෙන් පිං දෙන්නට වුවමනා නැහැ මොකද සහයෝගය දීලා අනුමෝදම් කරගත්තු පින හොඳටම ප්‍රමාණවත් උපනොපදින හැම ආත්මෙකම ප්‍රතිඵල ගෙන දෙන්නට. 

බොහොම ලස්සනට බොහොම පිළිවෙලට ආලෝක පූජාව අහවර කරලා එහෙම පසු දින (03/06) තිබුන සාංගික දානය ආර්ය මහා සඟ සතු කරමින් අටමහ කුසල් රැස් කරගනිමින් අපේ අවසානයක් නැති එක් බලාපොරොත්තුවක් ඉවර කළා. 

පසුව පන්සල සුද්ධ පවිත්‍ර කිරීමට දායක වුනු සැමටත්. විශේෂයෙන් ජෙසින්තා නැන්දාටත් ගොඩාක් පින්. මොකද (03/07) වැනිදාත් පන්සල අස් කරන්න තියෙනකොට, මමයි අයෙෂයි විතරක්ම පහන් නැවත එක තැනකට ගොඩගහනකොට, අපේ උගුර කට වෙලෙනකොට, අම්මෙක්ට කාගේ උනත් දරුවෙක් එහෙම වැඩ කරනවා බලන් ඉන්න බෑ කියලා හිතෙනකොට, අපි අඳුරන්නෙත් නැති ඒ නැන්දා ගෙදරට දුවලා ගිහින් තේ හදාගෙන ආවා. අනේ අපිට ඉතිං අමුර්තේ වගේ වෙලාවේ හැටියට. ඊටපස්සේ අපිත් එක්කම පහන් එකතු කරලා ඒ වැඩේ ඉවරයක් කරලා දීලමයි උන්දැ ගෙදර ගියේ. ගොඩාක් පින් ජෙසින්තා නැන්දේ ඔයාට.
දෙන්න පොඩි අවවාද ටිකක් තියෙනවා සහ ඉගෙන ගත්තු වටිනා අත්දැකීම් කිහිපයක් තියෙනවා කියන්න අවසානෙට. ඔයා අදුරන්නේ නැති අසරණව ඉන්න ඕනෑම කෙනෙක් මේ සසරේ ඇතුලේ ඔයාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියක් වෙලා ඉන්න ඇති. ඒ නිසා කෙනෙක් මහන්සි වෙලා දෙයක් කරනකොට නෝන්ඩියට හිනා වෙලා, වචනෙකින් හරි පිනට ගරහලා ඔයා ලබාගත්තු මනුස්ස ආත්මය නැති කරගන්න එපා. මට නම් හැමවෙලාවකම හිතෙන්නේ කුමක හෝ පින් මදි කමට මා ස්ත්‍රී ආත්මයක් ලදුවත් කුමක් හෝ පින් වැඩි කමට පිරිමි ශක්තියක්, පිරිමි ධෛර්යවන්ත බවක් මට තෑගී ලැබිලා තියෙනවා. අන්න ඒ හයියට පහන් 500ක් 750ක් උර වලට දාගෙන ගැහැණු මගේ කරේ ඇද්දේ. එහෙම අදිනකොට නංගි අපිත් උදව් කරන්නද කියලා නාහා නක්කලේට හිනා උන පන්සල වදින්න ආපු කොල්ලෝ දෙන්නට ආයේ මනුස්ස ආත්මයක් නම් හිතන්න එපා හොදේ. උඹලට යන්න අපායවලුත් නෑ ඉතිං. අහ්හ් ඒ වගේම පන්සල වදින්න ආපු වයසක ලොක්කා අපිව දැකලා " මේ දෙන්නට හොඳ පනිෂ්මන්ට් එකක් ලැබිලා " කියද්දී ආයේ කාටවත් එහෙව් දෙයක් නොකියන්න අපිත් හින්ට් දෙක තුනක්ම පාස් කලාට ඉතිං මොනවා වෙනවද? ඒ නිසා බුදුන් ඉස්සරහට ගිහින් අත් එකතු කලාටම පිං කුසල් අනුමෝදම් කරගන්නත් බෑ. අමිසය ප්‍රතිපත්තිය යන පිළිවෙත් දෙකම අනුගමනය කරන්න ඕනි. ඒකටත් ඉතිං පින තියෙන්න එපැයි. ;) 

ඔහොම කියලා කානිවල් වට්ටාරම, මලියදේව වට්ටාරම කරලයි අපි, Juniors ලා අන්තිමේට පන්සලෙන් ආවේ. වට්ටරමට ආයේ එනවා හැබැයි පහන් 84 000 ක සීමාවට එන්න බලාගෙන. දෙන්නම් කාසි නොකියා ඔයාලත් එකතු වෙන්න ඕන් ... 

- වචනෙකින් හරි වරදක් වුනා නම් හැමෝම මට ගොඩාක් සමාවෙන්න. වගේම විශේෂයෙන් නමක් සඳහන් කරන්න බැරි උනා නම් ඒකටත් සමාවෙන්න...



Siththam Maya | Anu Perera. Powered by Blogger.