" දමිළ අච්චම්මේ "


 | අනූ පෙරේරා 

නුඹේ බස මට නොතේරෙනු කිම ?
ආදරයට සෙනෙහසට බස ගැටළු නොම 
කිමද නුඹ මොර දෙන්නේ ?
ලෙඩ දුක් උහුලනු නොහැකිද ?
අප මුණ ගැසුනේ කුරුණෑගල රජය රෝහලේදී 
වයසින් නුඹ මාගේ අච්චම්මා සිහිකරවයි 
අසනීප හේතුවෙන් මමත් ඔවුනුත් එකම වාට්ටුවක 
නමුත් දින දෙකකට මා රෝහල් වාට්ටුවේ නිළ නොලත් දොස්තර විය 
දොස්තර පවා නොදන්නා ඔවුන්ගේ ලෙඩ මා දැනගත්තා 
අසරණ හදවත් වල ගැටළු 
නමුත් දමිළ ඇයව මට විශේෂයි 
ඇය සිහිසුන් නැතිව හඬා වැළපෙයි, රෑ මැද දොඩවයි 
ඇයව කරදරයක්ද ? ඇයව වදයක්ද ?
වාට්ටුවේ මිසී ඇයට බැන වදියි 
අනේ ඇයට බනිනු එපා 
කියනට මට අයිතියක් නැත 
වාට්ටුවට මා තවත් එක් ලෙඩෙකු පමණි 
අපට ඇයගේ දමිළ අදෝනාව නොතේරේ 
නමුත් ඇයට අපගේ සිහළ බැනුම් යසට තේරේ 
ඇය ඇයි මෙතැන ? ඇගේ දරුවන් නොඑන්නේද ?
මට මාගේ ලෙඩ දුක් ප්‍රශ්න නොව 
ඇය ගැන සොයනු සිත කියයි 
නොතේරෙන බසක් හරහට හිඳිමින් 
ඇය ගැන දැනගැනීමට ඉඩ නොදෙයි 
හඃ මගේ පියා දමිළ භාෂාව හැසිරවීමේ දක්ෂයෙකි 
ඔහු අප දෙදෙනාගේ අතරමැදි සේවයට 
එකිනෙක කරුණු ඇස් අදහාගත නොහැකිව  
ඇය ත්‍රිකුණාමල කලාපයෙන් 
බහුතර දෙමව්පියන්ට වයසට යාමේ වරදට 
දරුවන්ගෙන් ලැබෙන දඬුවම ඇයටත් හිස්මුදුනෙන්ම ගෙනවිත්  
ඇගේ පුතු ඈ හා කොළොම්තොටට ඇදෙන 
අළුයම බස් රථයට ගොඩවන්නේ   
හිතේ දහසකුත් සැළසුම් තියාන 
කිසිවක් නොදන්නා අවිහිංසක ඇය 
නිදිදෙව්දුව වැළඳ ගන්නේ 
ඇය තම පුතු දකින අවසන් වතාව සිතා නොව 
මොහොතකින් ඇය තනිවම ඇගේ සිතත් සමඟ 
ඇය අවදි වන්නේ රිය කුරුණෑගල නගරයට සේන්දු වනවිට 
කෝ මගේ පුතු කෝ මගේ පුතු 
ඇය ඇගේ අමිල වස්තුව සොයයි 
නොහඳුන නගරයක නොදන්නා මිනිසුන් හා ගැටෙමින් 
හිරු සඳු ගෙවෙන තුරු මේ සොයන්නේ 
ඇයටම මරු වූ තම ස්නේහයයි 
මහන්සිය ඇයව විඩා කරවයි, කුසගින්න ඇයව දවාලයි 
නමුදු ඇය සටන අත් නොහරියි 
කෙසේ අත් හරින්නද ?
නැති වී ඇත්තේ තමන් මලක් මෙන් ප්‍රවේසම් කල පුතුයි 
කාන්සිය, මහන්සිය, කුසගින්න, පිපාසය 
ඇයව මහමඟ ඇද දමයි 
මෙතෙක් උදව් නොකළ සැම ඇයව ඔසවාගෙන යති 
කොහිද ? කුරුණෑගල රජයේ රෝහලට 
කාත් කවුරුත් නැති ඇය
ගෙනා දා පටන් හැඩු කඳුලෙන්  
ඇය අපේ අත් අල්වා ගෙන හඬයි
ඇයි අච්චම්මේ අඬන්නේ ?
මා සිහලෙන් අසන ගැටළුවට ඈ දමිලෙන් පිළිතුරු දෙයි 
ඇගේ තනිය ඇයට දුකක් නොවේ, නමුත් 
දරුවන් බෝම්බ වලට හසු වේවිලු, කම්බි වල පැටලේවිලු 
ඔවුන්ව රැක ගන්නලු, ඔවුන්ව බලාගන්නලු 
පොඩි දුවට සාරියක් තියෙනවලු දෙන්න 
නුඹටම වින කරන නුඹේම මරුවන් වුන දරුවන්ට 
තවමත් අබ මල් රේණුවක අඩු නොවුන 
නුඹේ දරු කැක්කුමට මම ගරු කරමි 
හිස නමා ගරු කරමි 
රෝහලේ ආහාර කන්නට බෑ නේද ?
ආ මෙන්න මගේ බත් එක 
තේ උගුරක් බොමුද? කෝ දෙන්න කෝප්පය 
ඉඳියාප්ප මුලක් එහෙම ?
ඇයව සතුටු කරන්නට අපි වෙහෙසුනා 
එහා ඇඳේ මුස්ලිම් අක්කණ්ඩිය 
අවසානෙට ඔයයි අපේ අතරමැදි වුනේ 
අදටත් මතකයි ඇයව අපි දෙදෙනා නාවපු හැටි 
ඇගේ රෙදි සේදු හැටි 
ඈ කෙල සොටු මළ මුත්‍ර පෙරාගෙන සිටි 
කවුරුත් අහක බලපු වයසක ගැහැණියක් 
අහල විනාඩියකට රැඳෙනු නොහැකියි 
නමුත් අපි ඇය වෙනුවෙන් කැපවුණා 
මම අණ කළා 
මගේම අයට 
ෂැම්පු, කොන්ඩිෂනර්, පවුඩර් ගෙනෙන්නට 
ඔහු හනික මට ඒවා ගෙනවිත් දුන්නා 
දොළහේ කණිසමට මා බලන්නට 
රොත්ත පිටින් මගේ ඈයෝ හනි හනිකට 
මට ලෙඩ නෑ මම බරපතල රාජකාරියක 
මුස්ලිම් අක්කා සමගින් සිහළ මම 
දමිළ ඇයව නහවන රාජකාරියේ 
අළුත්ම බිංදු බිංදු ගවුම හැඩට 
ෂැම්පු කොන්ඩිෂනර් කල සිනිඳු හිසකේ 
පවුඩර් සුවඳ වුනු නුඹේ ගත 
දැන් සුවඳයි අච්චම්මේ 
නුඹේ දරුවන් අමතක කරන්න 
නොහඩන්න කිසි දින
උන් මැරුණා යැයි සිතන්න 
ඇයි නුඹ මා නළල සිපගත්තේ ?
මා නුඹේ දරුවා මෙන් හැඟෙද ?
සත්තකින්ම මා එසේ වෙන්නම් 
අප සිත්, අප ඇස් විනාඩි ගණනකට කතා කළා 
සතුටුයි 
සිහළ මමයි මුස්ලිම් ඔයයි එකතු වෙලා 
දෙමලෙකුට මනුස්සකම් පෑවා
අදටත් මතක් වෙන මොහොතක් පාසා 
ආඩම්බරයි මට මම ගැනම 

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment