" කොටකෙතනින් ලොවකට පණිවුඩයක් "



සිත්තම් මායා  | අනූ පෙරේරා 

මව් පදවිය සංසාරික ජිවිතයේ අපට මුණ ගැසෙන උත්තම ද්විත්ව පදවියන්ගෙන් එකකි. අපිරිමිත සෙනෙහසකින් ඕනෑම පුද්ගලයෙක් ලබන එකම නිර්ලෝභී ආදරය ලැබෙනුයේ  එකී පදවි ද්විත්වය තුලින් බව විතර්කයකි. මිහිපිට ශ්‍රේෂ්ඨතම මිනිසා වූ ගෞතම බුදු රජුන් පවා ඔවුන් උතුම් කොට සලකනු ලැබූවන් වේ. එවන් වන්දනීය ඇත්තවුන්, වන්නෙන් නිසාම ඔවුන් වෙත මරණය ගෙනදේම ආනන්තරීය පාප කර්මයක් ලෙස වදාළ සේක. එබැවින් ඇතැම් අවස්ථාවල බුදුන් වහන්සේ දෙවැනි කොට මව්පියන්ට සලකන ලෙස වදාළ සේක. 

කිනම් තානාන්තරයකින් හෙබි වුවත් මවක් යන තනතුර කිසිවකුට සොරකම් කල නොහැකි උතුම් ගණයේ තානන්තරයකි. අද වනතුරුත් මව්පිය සෙනෙහස අවිවාදයෙන් විද්‍යාව පරයා යන්නේ මෙකි හේතු නිසාවෙනි. 

" ජිවිතයෙන් ජිවිතයක් ගෙන දී, ඒ ජිවිතයට කිරි දී පණ දී , මා දැඩි කල අම්මා " ප්‍රේමකීර්ති ද අල්විස්, ශ්‍රේෂ්ඨ පද රචකයන් ලියු වික්ටර් රත්නායකයන්ගේ ලයාන්විත හඬින් ගුණ වයන ' ආදරයේ උල්පත වූ අම්මා ' ගීතය අදටත් මා සිනහ මැද නිහඬ කරවන ගීතයයි. සංයමයෙන් ගීතයට අවනත වන මගේ සිත වඩ වඩාත් මගේ මෑණියන් කෙරෙහි දක්වන ගෞරවය මොහොතින් මොහොත ඉහළ දමාලන්නේ මටත් නොදැනුවත්මයි.



මවක් පණ නල දෙන ජිවය දහදිය මහන්සිය හෙලමින් පොලෝ ගැබක් හා උරිනුර ගැටෙමින් රැක ගන්නේ ඔහුයි. " මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ, පුදුමයි පුතුනේ කිම මගේ ලේ කිරි නොවුනේ " , ටි. එම් ජයරත්නයන් ගයන ' අම්මා සඳකි ' ගීතය මා චින්තකයෙකු කරවාලයි. පියෙකුගේ ධෛර්යවන්ත බව හමුවේ විස්මිත වීම විනා මා කුමක් කරම්ද ? එය පිරිමියෙකුගේ ශක්තිය නොවෙයි. එය පියෙකුගේ ශක්තියයි. 


එහෙව් මවක්, එහෙව් පියෙක් ඝාතනය කිරීමට සිත් දුන් නුඹේ හුස්මත් මේ මහ පොළවට බරක් නොවේද ? අද ශාරීරිකව මානසිකව විඳින පීඩාව නිමක් වේද ? මිනිසත් බව ලැබීම කෙතරම් විරලද යන්න නුඹ සිතුවාද ? අජාසත් රජුන් පවා නරකාදියේ අපා දුක් විඳි නම් දුගී දුප්පත් නුඹ ගැන කුමන කතාද ? කර්මය නුඹව සොයා ආ හැටි නම් අපූරුයි. මවකගේ ගුණය ඉදිරියේ වැඳිරියක ලොකු කරගත් කාලකන්ණි පුතු නුඹ. උතුම් නිර්වාණ පහස කිසිඳු ආත්මයක නොලබන ආඥානයෙකි නුඹ. 

මේ කවි පෙළ දැන් නුඹට නොව තව දුරටත් මව පියා සතුරන් සේ, අවලස්සන, අශෝබන, අධම ගැහැණු/ පිරිමි  ඉදිරියේ බාල්දු කරවන හය හතර නොතේරෙන පිනැති දූ දරුවන් අපාගත නොවනට කරන උත්සාහයකි ..... 

අසනිප් හමුවේ මම උවටැන්            කෙරුවාට 
රෑ එළිවනතුරුත් ඇහැරන්                   හිටියාට 
අහරක් කුසට නොසොයා නුඹ           බැලුවාට 
අම්මෙක් එහෙම නැතිදෝ පුතු          ලෙඩ දාට 

කඳුළු බිබී මම නුඹ සමඟින්                   අසලින් 
බසින නගින උණුසුම් ගත සිප          මෙලෙසින් 
පැයෙන් පැයට බෙහෙතුත් දී කිව     මෙලෙසින්
මට ලෙඩ දීලා නුඹ සනීප වනු               සුහලින් 

මතකද පුතේ දසමස නුඹ කුස                 හිඳුවා 
එවිටත් නුඹ පුතේ පය මට විසි             කෙරුවා 
කිරිකැටි කමට නොවැ නේ පුත මම        සිතුවා 
කරදඬු උස් උනත් නුඹේ පය           විසිවෙනවා 

දරනු කොහොම මගේ පුතු මට        ගසනකොට 
හඬනු කොහොම අන් අය ඇයි         අසනකොට 
නුඹට කොහොම අවමන් දෙනු      සිතෙනකොට 
ඉවසා සිටිමි වෙන මොනවා              වෙන්න මට 

ආදරේ මැන්නේ නෑ පුතුනේ අහස              තරම් 
ලොට මට මොකට ආදරේ දැන් වන්නේ   සුපෙම් 
බිරිඳ හොඳයි මට වැඩියෙන් දැනෙන          සිතුම් 
ඒත් පුතේ මට නුඹ තව පුංචි                       කුසුම් 

නුඹ මුව තවම කිරි සුව දස                  විහිදන්නේ 
කොහොමද පුතුනේ බිරිඳක් නුඹ       රැකගන්නේ 
මහමෙර සේ මගෙන් දරුපෙම            උතුරන්නේ 
ඒකයි නුඹට ඉගෙනුම එක යැයි               කිව්නේ 

දහක් නොවේ මගේ පුතු අමිලයි මට              නම් 
එහෙත් නුඹට මා අව සිල්ලරයක                   නම් 
ජිවත් උනත් මැරුණා සේ සිතුනා                   නම් 
පුත නුඹ සලසා දුන්නේ මා සිතු මරණය         නම් 

නුඹේ පහර ඉදිරියේ මා සිහිසුන්                        වී 
දැනුනා පුතේ මා හදවත සුනුවිස්                        වී 
මවක් ඉවස යැයි නම් දරුදුක් සිහි                       වී 
ලේ කිරි උනා දෙවරක් අද දුක සිහි                     වී 

පුතේ ලේ විලක් ගැලුවත් පහර                        පිට 
රිදුම් නොදෙයි ඒ කිසිවක් සතේ                      කට 
මගේ පුතා මට ගහනවා සිතෙන                   කොට 
සිත නම් රිදුම් දේ හරියට පැලෙන්                    නට 

මන්නේ අරන් එනු නුඹ දැක මරණ                   බය 
නොසිතුනි මගේ පුතු මා ළඟ සිටින                  කය 
බොඳ වුනු දෑස් අතරින් මම සිතුව                      සිය 
අහිංසක පුතා අංගුලිමාල                                  විය 

රුධිර නාල හෙමි හෙමිහිට               කැපෙනකොට 
වෙව්ලන දෑත් හෙමිහිට නුඹ                  පුරුදුකොට 
මරණ අත්දැකීමත් මට                      දැනෙනකොට 
ඉවසනු බැරිය මගේ පුතු මා                  මරණකොට 

තවමත් ඇසෙයි පුත නුඹ මේ                      අඬනවද 
හිත සවි කරගන්න හැමවිට සවි සේ                 ලන්ද 
වැදලි මසින් සාලය කැත වී                             ඇත්ද 
හනිකට ඔසවපන් මා මළ වූ                            කන්ද 

අසිහි විකල තුළදීත් දැක්කේ                          ඔබමයි 
හද ඇයි ගැසෙනු වේගෙන් මට එයත්             ඇසෙයි 
උණුහුම විඳින්නට පුතු ලය සැපම                ගෙනෙයි 
අවසන් හුස්ම යනකොට නුඹ මා                     ළඟමයි   


මෙවන් නරුම පුතුන් හමුවේ මවට පියාට පණ සේ ආදරය කරන පින්වන්ත නුඹට ලබන්නාවූ අවුරුද්ද සුභම සුභ සෞභාග්‍යවන්ත අළුත් අවුරුද්දක්ම වේවා !!!



Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment