Ads Top

" අසංක ප්‍රදීප් කුමාර "



සිත්තම් මායා | අනූ පෙරේරා

ජිවිතයේ සුබ ඵල අසුබ ඵල ආපිට ලැබෙනුයේ අපි කල කී දෑ මතමය. බුදුන් වහන්සේ වදාහළ දර්ශනයේ කර්මය නම් එයයි. ඉන් මිදී කටයුතු කිරීමට කිසිවෙකු සමත් නැත. පෙර ආත්මයක හෝ බොහෝ විට මෙම ආත්මයේම බලවත් වන කර්මය ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙයි. යහපත් දේ යහපත් ලෙසත් අයහපත් දේ අයහපත් ලෙසත් ප්‍රතිවිපාක ගෙන දේවි. කෙතරම් අඩුපාඩු සහිත වුවද මිනිස් ආත්මයකම උප්පත්තිය ලැබීමම මොන තරම් භාග්‍යයක්ද ? 

අසංක එවන් කෙනෙක්. අසංක ප්‍රදීප් කුමාර ඔහු නමින් සම්පූර්ණ කරවයි. ගනේවත්ත දුම්රියේ නිතර යනෙන මොහු අවුරුදු කාල සීමාවෙන් පසු දකින්නට නොලැබුන නමුත් පෙර දින (09/05/2015) සිංදුවක් මුමුණමින් ඔහුගේ සීමා සලකුණු යෂ්ඨිය අතැතිව ඔහු සුපුරුදු යාචක රැකියාවේ නිරතව පෙනී සිටියේ කලකින් හමුවුණු මිතුරෙකු විලසිනි. 

" ගොඩක් කාලෙකින් නේද " බණ්ඩාර අයියා ඔහුව කතාවට ඇඳ බැඳ ගත්තේය. " අනේ මේ ඔයාලානේ " ඔහු සතුටින් පිළිතුරු දුන්නේය. එතැනින් ඇරඹී කතාව දිගින් දිගටම පැවැත්විණි.

ඔහු ගැන නිශාන්ත අයියා මට පෙර කියා තිබුණි. අවුරුද්දට ඔහුගේ ඇඳුම් පැළඳුම්, ඉරුණු බෑගය සහ අනෙකුත් සුළු සුළු අවශ්‍යතා රැසක් සපුරන දුම්රියේ හවුල, අවුරුදු ත්‍යාගය ගන්නට නොපැමිණෙන ඔහු බලාපොරොත්තුවෙන්ම සිටි නිසා ඒ ගැන කනිෂ්ඨ සාමාජිකයෙකු වූ මමත් දැනුවත් වුනා. දුම්රියේ හවුල බලා සිටි ඒ දවස පෙර දිනය වුවත් සූදානම් රහිත දිනයක ඔහුගේ සපැමිණීම විශ්මයක් විය. යලි එන දිනයේ ඔහු සතු වන ත්‍යාග පිලිබඳ පුවත ඔහු කන වැකුනෙන් ප්‍රීතියෙන් ඔහු ඉපිලෙන්නට විය. 

" මම ගත්තා රුපියල් විසිපන්දහසක බෆල් සෙට් එකක්. අලුත්ම පෙන් එකකුත් ගත්තා හලෝ. එකට සිංදු එක්දහස් අටසීයයක් ගහන්න පුළුවන් කිව්වා. මේ බලන්න " ඔහු තම ඉරුණු බෑගය ඇර කවරයේ බහාළු ඒ පෙන් එක අපට පෙන්වීය. යාචකයෙකු මෙවන් දේ ගැනීම අසා සිටින, බලා සිටින අපට මොනවා නොසිතේද ? ඔබේ සිත තීරණයට ඉඩ නොදෙන ලෙස නොව පූර්ණ ලිපියක අවසානයක් වනතුරු විවේචන හෝ අගය කිරීමට සිතට ඉඩ නොදෙන ලෙස ඉල්ලමි. මන්ද යත් අපට මෙන් ඔවුන්ට සුවිසල් සිහින නැත. අමු සංගීත පිස්සෙකු වූ ඔහුගේ ආශාව සංගීතය කරාම ඇදී තිබුණි. සිංදුවක් කියා සිඟමන් යදින්නෙකු පවා සිහින දකියි. එය අස්වාභාවික ලෙස අප දැකිය යුතු නැත. අපි එකිනෙකාට යැපෙමින් ජිවත් වන තාක් අපි මුදල් හරි හම්බ කරමින් ජිවත් වේවි.  

" කාලෙකින් ඔයාගේ සිංදුවක් අහන්න බැරි උනානේ " අගේට ගී ගයන ඔහුගේ ගීතයක් ඇසීම දැන් අපගේ කැමැත්ත වුනෙන් ඔහු ලවා ගීතයක් ගායන කරවා ගැනීමට නිශාන්ත අයියා පසුබට නොවීය. 

යෂ්ඨිය අසුන යටින් තැබූ ඔහු හරි බරි ගැහී මේ ඉඳගන්නට සැරසෙන්නේ සිංදු වරුසාවක් ඇද හැලීමටයි. දුම්රිය ඒ මොහොතේ නැවතූයේ බුජ්ජෝමුව දුම්රිය ස්ථානයෙයි. පොල්ගහවෙලින් හවුලේ බොහෝ දෙනා බහින නිසාවෙන් මෙන්ම ඔහුගේ ගජ මිතුරු පොල්ගහවෙල යාළුවා විශේෂයෙන් බහින නිසා සිංදු වරුසාවකට ඉඩ නොලැබෙන සේයා පෙනුණි. සිංදු දෙකක ප්‍රමාණවත් කාලයක් තිබුණු නිසා ඔහුගේ පළමු ගැයුම ඔහුම කියමින් ඔහුම වාදනය කරමින් ඇරඹිය. විරහව සම්මිශ්‍ර ඒ ගීතය හුදෙක් බොහෝ දෙනා ඇඳ බැඳ තබා ගැනුනි.

දෙවැනි ගීතය අපගේ බලවත් ඉල්ලීම පරිදි පටන් ගැනුනි. " හද විමන් දොරින් එන පැතුම් පවන් ..... " දක්ෂ ගායනයේ මෙන්ම වාදනයේ නිරත වෙමින් ඔහු ගයයි. දැන් සියලු දෙනා අප වටා රොක් වන්නේ ගීතය ඇසීමටයි. ඔහු කෙමෙන් ජනප්‍රිය වෙන නමුත් පොල්ගහවෙලට ආසන්නව දුම්රිය ගමන් කිරීම මත්තෙන් ඔහු එය අවසන් ගීතය ලෙස සනිටුහන් කලේ " මෙතෙක් ඔබ හා හිඳිමින් ගීත ගයනා කල මා අසංක ප්‍රදීප් කුමාර ..... හිරු .... " ලෙසිනි. අප සැම සිනහ ගන්වා ඔහුත් සිනාසීය. 

ඔහුට දෙපසින් ඉඳන් වුන් මම සහ තවත් අයෙකුගේ තොරතුරු දැනගන්නට පටන් ගත් ඔහු ප්‍රථම අනෙක් ආගන්තුකයා ගැන විමසා දෙවනුව මා ගැන දුම්රිය හවුලෙන් ඇසුවේ " මේ ඉන්න අනිත් අයියා කවුද ලෙසිනි ", " අයියෙක් නෙවෙයි එයා චූටි නංගියෙක් " මගේ සහෘදයන් පිළිතුරු දුනි. සිනහා නොනවතාගනිමට නොහැකිව සිටි මගේ උරහිසට තට්ටු කරමින් " අනේ ශොරි " කීය. උරහිස මත තැබූ ඔහු අතට අත තියමින් " අනේ ඒකට කමක් නෑ " ලෙස මම පැවසුවෙමි. 

පෘතග්ජන කුහක සිතිවිලි නොතිබෙන්නේ කාටද ? කිසිකලෙක සියයට සියයක් පිරිසිඳු නොවූ සිතක් මටත් ඇත. ඔහුගේ අත මතට මගේ අත තබන්නට පෙර මගේ සිත මනුස්සකම හා පිළිකුල අතරේ තත්පරයට දස දහස් ගණනින් තර්ක කල නමුත් පිළිකුල පරදා මනුස්සකම හදවතේ සෑම සෛලයකම රැව් පිළිරැව් දීම යාචක ඔහුව අප්‍රිය කරන්නට සිත නොදුනි. පෘතග්ජන කුහක සිතිවිල්ල පයට පෑගෙන්නට දමන්නට මනුස්සකම නම් උත්තම සිතිවිල්ල උපකාරී වීම නම් මා පෙර කල පිනකමයි. බොහෝ පුද්ගලයන් අප්‍රසන්න කරන, පිළිකුල් කරන අසරණයින් මගේ පන්හිඳෙන් අගයන්නට දහස් ගණනින් වාග් පිට දැමෙන්නේ එබැවින්ම විය යුතුයි. 

සැමට තෙරුවන් සරණ පැතු ඔහු නික්මයන්නටයි මේ  සූදානම. ඔහු මා කෙරෙහි වැඩි අවධානයක් දුන් කරුණු සමූහයක් වන්නට පිළිවන. නව මිතුරන් ඇතිකරගැනීමම නොව ඔහු වැනි අයෙකුට හැඟුම් නොපැවතිය යුතුද ? ඔහුද මිනිසෙක් වන වරදට විරුද්ධ ලිංගික ආකර්ෂණය ඔහුටත් තිබෙනවා විය යුතුය. ලැබෙන පොඩි ඉඩකින් ප්‍රයෝජනයක් ගැනීමට ඔහුටත් සිතෙනවා විය යුතුය. ඔහු මාගේ අත බොහෝ වෙලාවක් අල්වා ගෙන සිටියේ එබැවින් විය යුතුය. ගැහැණු ස්පර්ශයක් නොලැබෙන ඔහු වැන්නන් සැමවිටම මාන්නාධික නෝනලාගෙන් අසන්නේ ආඩා පාලි ම පමණක් වන නිසා ඔහුට එය සුන්දර අවස්තාවක් විය යුතුය. මනසින් මනසට කතා කිරීමට අප කවුරුත් විශේෂ ප්‍රාගුණ්‍යයක් නොදක්වන හෙයින් මා මේ කලේ ඔහුගේ පැත්තෙන් සාධාරණ උපකල්පනයක් පමණි. නමුත් ඔහුගේ ස්පර්ශයේ කිසිඳු රාගයක් මට නොදැනුනි. ගැහැණු අතක පහස ලැබීමේ සීමාවේ ඔහු සිටි බව සහතිකයි. එසේ නොවන්නට ඔහු කෙතරම් අසරණයෙක් හෝ ප්‍රබලයෙක් වුවත් ඔහු වෙනුවෙන් මගේ පන්හිඳ අගය කිරීමකට දොරගුළු නොඇරෙනු නොඅනුමානයි.  

ඔහු නොදකින සමාජ රටාවක හුස්ම ගැනෙන අපගේ ජිවිත කෙතරම් මානුෂිය විය යුතුද ? අපගේ පරිස්සම පැතු ඔහු නික්මුනේ ඔහුගේ පරිස්සම ඔහු විසින් සැමවිට ස්ථිර කරගෙනම සිටි නිසයි. දෑස් පෙනෙන අප අපගේ පරිස්සම නොසලකාහරින විට දෑස් නොපෙනෙන ඔහු තත්පරයක් පාසා ඔහුගේ පරිස්සම සහතික කරගෙන සිටියි. 

සටහන අනූ පෙරේරා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.