" මහරගමට යන මල්ලී "


සිත්තම් මායා | අනූ පෙරේරා 

2015 අප්‍රේල් මස 29 වන දින 
පෙ.ව 7.45 ත් 8.30 ත් අතර 
මුහුණ දුන් අත්දැකීමක් ඇසුරෙන් ...

" මහරේ .. මහරේග .. මහරේගම .. "
කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට පැනගත් මා අඩියට දෙකට 138 පිටකොටුව මහරගම බස් එකට දුවගෙන ගියේ කොන්දොස්තර මහතාගේ මිහිරි ආවැඩීම මෙන්ම සැලකිය යුතු අන්දමට හුස්මක් කටක් ගෙන පහසුවෙන් මගේ ගමනාන්තයට යා හැකි බැව් දුටි නිසාවෙනි. වැඩි ඈතට නොගොස් ලඟම අසුනේ ඉඳගත් මට එහා උන් තවත් අයෙකි. ජැන්ඩියට නොඇඳ ගත් ඔහු පෙනුමෙන් වර්ධනය නොවූ කොළු ගැටයෙකු සේ පෙනුනි. උකුල මත හොවා වුන් බෑගය වැසීම කරගෙන තිබුනේ හැට්ට කටු ආධාර කොටගෙනයි. කිට මරන කොලොම්කරුවන් අතරේ ඔහු යාචක විදියට සිටීම සිතට සංවේගයක් ඇති කල නමුත් නන්නාදුනන්ට සෙනෙහෙ පාන්නට ගොස් මගේ කරේ නගින්නට ඒවි යැයි සිතා මා මගේ වැඩක් බලාගන්නට විය. ඉදිරිය බලා සිටි මට ඇස් කොනින් ඔහු මා දෙස බලාසිටින බව දැනුනු නිසාවෙන් ක්ෂණයෙන් මටත් එදෙස බැලුනි. ඔහු සිනාසී කවුළුවෙන් එලිය බැලුවේය. මදහසක් පෑ මමත් නැවත මගේ ඉරියව්වේ පිහිටියෙමි. තවත් වරෙක එය සිදුවිනි. සහ තවත් වරක්. කිසිවක් නොකියන ඔහු මදෙස බලා බයමුසු අහිංසක සිනහවක් පාමින් ජනෙල් කවුළුවෙන් එලිය බලයි. මනුස්සකමට බෙදන හිනාවෙන් ඔහුටත්  ටිකක් බෙදන්නට මුල් වුනු ප්‍රධානම හේතුව නම් ඔහුගේ නිර්ධන පාන්තික පෙනුම සහ හැසිරීමයි. ඔහු බියෙන් තැතිගැන්මෙන් පසු වූ බව නොඅනුමානයි. මා කොලොම්පුර ජනසමාජය අවිශ්වාස කරන්නා සේම ඔහුත් විශ්වාස නොකරනවා විය යුතුයි. හුදෙක් ඔහු කොළඹට ආගන්තුකයෙක් විය යුතුයි. කල්පනා සාගරයක මා ඔහුට විනිශ්වය ලබා දෙමින් සිටියෙමි.

" අක්කේ මහරගමට යනකොට කීය වෙයිද ? " කල්පනාව නවතාලමින් ඔහු මගෙන් ඇසූ පැනයයි. කොළඹට අළුත් මම කොහොම පිළිතුරු දෙන්නද ? 
" මම ඊට ගොඩක් මෙහායින් බහිනවා " සිනහවක් පෑ මම පිළිතුරු දුන්නෙමි. 
" අක්කේ මහරගම ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන්න වේලාවක් තියෙනවද ? නැත්තං ඕනේ වේලාවක බලන්න පුලුවන්ද ? " 
" වේලාවක් නම් තියෙනවා ඇති. ඒත් පොඩ්ඩක් ගිහින් අහලා බලන්නකෝ "
මහරගම ගැන නොදන්නා නමුත් සාමාන්‍ය රෝහලක පිළිවෙල අනුව නම් වෙලාවක් තියෙන නිසා අපහසුතාව මදක් මගහරවා ගනිමින් කිව්වෙමි. 
" ඔය පිටිපස්සෙන් ටිකට් ගන්න " කොන්දොස්තරගේ මේ හතර බීරි කතාවට කවදා මට විසඳුමක් ලැබේවිද මන්දා. ඇත්තටම පිටිපස්සෙන් කොහොමද ටිකට් ගන්නේ. එහෙම ගන්න පුළුවන්නම් මෙයාගෙන් ටිකට් ඉල්ලන්නේ නෑනේ. අපි බස් එකට නැගලා අපිම ටිකට් එක අරන් වාඩි වෙලා යනවානේ. අනෙක මෙයා කියනවා වගේ ඇත්තටම මිනිස්සු කොහොමද පස්සෙන් බහින්නේ ? විකාර සිතිවිලි වල එල්බගෙන සිටි මා මෙසේ කොන්දොස්තර මහතාට නෝක්කාඩු මටම කියා සිතින් සිනාසුනෙමි. 
" කොහෙටද " නෝක්කාඩු අකුලාගෙන මම අදාළ නැවතුමට ටිකට් ගත්තෙමි. 
" ඊළඟ ? " - " මහරගමට "
රුපියල් සියයේ නෝට්ටුවක් දුන් ඔහුට ඉතිරි රුපියක් හැත්තෑවක් ලැබුනි. 
" ඇයි හොස්පිට .... " වචන ආරම්භය මම වරදා ගතිමි. කඩු කෑලි දැමීම ඔහු අසරණ වනු ඇත. එබැවින් මම වචන නිවැරදි කරගතිමි. 
" ඇයි ඉස්පිරිතාලේ යන්නේ ? "
" අම්මට අමාරුයි කියලා පණිවිඩයක් ආවා අක්කේ. අම්මට පිළිකාවක්නේ " 
" අයියෝ එහෙමද ? තනියමද යන්නේ ? "
" ඔව්, මගේ අක්කාට ඇවිදින්න බෑ. කකුල් කපලා තියෙන්නේ තුවාල ඇවිත් "
" සීනි තිබ්බද ? "
" ඔව් අක්කේ " 
" කොහේ ඉඳන්ද එන්නේ මේ ? "
" අනුරාධපුරේ ඉඳන් "
" අනුරාධපුරේ කොහෙද ? "
" තන්තිරිමලේ "
මගේ දෙවියනේ මේ අහලකවත් නෙවෙයි. තනියම පළාත්ම දෙකක් පහුකරගෙන ඇවිත් තියෙන්නේ 
" කීයටද බස් එකට නැග්ගේ "
" එහෙන් පාන්දර දොළහයි ගානකට තියෙන බස් එකේ ආවේ " 
පුදුමයෙන් ඇස් ලොකු කරගත් මම, 
" එතකොට මෙහෙන් බැස්සේ ? "
" උදේ හතයි ගානකට "
සුසුමක් හෙළු මට මා ගැනම ලැජ්ජා සිතුනි. පාන්දර පහට මාව ඇහැරව ගන්න මගේ අම්මා පුදුම වදයක් විඳින්නේ. අංග සම්පුර්ණ මම එහෙම වෙනකොට මොළ වර්ධනය බාල බවක් පෙන්නන මේ දරුවා  තනියම අක්කගේ වැඩත් කරගෙන කලින් දවසේ මහ රෑ ඉඳන් අම්මව බලන්න කොළඹට එනවා. මට විතරක් නෙවෙයි සමාජයටම ඔහු ආදර්ශයක්. 
හෙමිහිට බෑගය අතරේ අත යවා මුදල් පසුම්බියේ තත්වය ඔහුට හොරෙන් මම පරික්ෂා කලෙමි. හවස යළි නිවෙස්ගත වන්නට ගණන් තැබූ විට අතිරේක රුපියක් සියයක් තිබෙනු දැකීම සතුටට කරුණක් විය. හෙමිහිට අතට ගත් නෝට්ටුව ඔහුගේ අතේ ගුලි කලෙමි.
" මේක වියදමට තියාගන්න "
" අනේ... එපා එපා ... "
" වැරදියට හිතන්න එපා. අම්මට මොනවා හරි ගෙනිහින් හරි දෙන්නකෝ "
ස්තුතිපූර්වක සිනහවක් පෑ ඔහු ඊට පින් දුනි. 
" මගේ අක්කා යාළුවෙක්ගෙන් ණයට පන්සීයක් හොයලා දුන්නේ. එද්දී බස් එකට හාරසීයක් ගියා "
දුක්මුසු මුහුණෙන් ඔහු පැවසීය. 
ගණන් හිලව් සහ බස් ධාවන වේලාවල් පිලිබඳ අනුමානයක් කල නොහැකි නිසාවෙන් මා ඔහු පිලිගතිමි. නමුත් කොළොම්පුරයේ මා ඕනෑම දහන්ගැටයකට අසු විය හැකි බැවින් පසුව මා එය සත්‍ය බව අත්දැකීම් ලත් ජේෂ්ඨ මිතුරෙකුගෙන් තහවරු කරගන්නා ලදී. 
තන්තිරිමලය සිට කොළඹට හාරසියයක මුදලක් හමාර නම් මහරගමට ටිකක් ගන්නට ඔහු අත තිබූ සියය, සහෝදරිය ණයට සොයා දුන් පන්සියයේ ඉතුරු විය යුතුයි. එසේ නම් මේ වන විට ඔහු සන්තකේටම තිබිය යුතු වන්නේ මහරගම ටිකක් එකේ ඉතුරු හැත්තෑව සහ මා සෙනෙහසින් පිරිනැමූ සියය පමණක් නේද ? 

" එතකොට එන්න සල්ලි නෑනේ ඔයා ගාව ? " මම ප්‍රශ්න කලෙමි 
" එන්න නම් සල්ලි නෑ තමයි අක්කේ. ඒ උනාට අම්මව බලලා ඉන්න එපැයි ආයේ ගෙදර එනවිදිය ගැන හිතන්න කලින් " 
මම නිරුත්තර විමි. අම්මා කෙරෙහි ඔහු දැක්වූ අසීමිත වදන් අතර මම සංවේදී වුනෙමි. මාගේ ලය දියවී වැටෙන්නාක් මෙන් මට දැනුනි. මම තවදුරටත් මා ගැනම ලජ්ජා වුනෙමි. සමස්ත සමාජයක් ගැන ලජ්ජා වුනෙමි. දවසින් දවසට පොදි බැඳගන්නා සිහින සැබෑ කරගන්නට වෙහෙස මහන්සිය නොබලා පනම් සොයන අපි අතරේ තඹ සතේක වටිනාකමක් නොසොයා මරණය පෙනෙන මව් බලා මහරගම සිට තන්තිරිමලේට පයින් හෝ යන්නට ආ නුඹේ සිත ගැන මට හරිම ආඩම්බරයි පුතේ. 
" මල්ලී මම ඉස්සරහින් බහිනවා. ඔයාගේ අම්මට හොඳ වෙන්න කියලා මමත් ප්‍රර්ථනා කරන්නම්. එනකොට ඩ්‍රයිවර් මහත්තයට කියන්න. ගොඩක් වෙලාවට එක්කගෙන යාවි "
" හොඳයි අක්කා. ගොඩක් පින් ඔයාට "
කරට තට්ටුවක් දැමූ මම අසුනෙන් නැගිට දොර ලඟට විත් බැස යන මොහොතේදීත් ඔහු කෘතගුණ දක්වන්නාක් මෙන් අත වැනුවේය. ඔහු වැන්නෙකුට අත වැනීමට කුමට දෙවරක් සිතනවාද, සිනහමුසු මුහුණින් ඔහුට සමු දුන් නමුත් සිත කියාගත නොහැකි ලෙස සංවේදී විය. ඔහුගේ ධෛර්යවන්ත බව ගැන ආඩම්බර විය. ඔහු වෙනුවෙන් නුඹටත් හැකි නම් ප්‍රාර්ථනාවක් කරන්න. ඒ ආශීර්වාදය ඔහු සොයා ඵල දේවි.

| අනූ පෙරේරා 

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment