උණයි අම්මයි


සිත්තම් මායා | අනූ පෙරේරා

            මව යන චරිතය සැමවිට විවාදයෙන් තොරයි. ජිවිතයේ ඇය තරම් කැපකිරීම් කළ වෙනත් චරිතයක් අපට මුණ නොගැසෙන තරම්. අපගේ සෑම සතුටක්ම කිසිඳු වංක සිතුවිල්ලකින් තොරව බෙදාගන්නේ ඇයයි. අපගේ සෑම දුකක්ම වාසියකට නොගෙන අප හා බෙදාගන්නේ ඇයයි. මිහිපිට මා දැකි ධෛර්යවන්ත ගැහැණිය ඇයයි.

            මේ මොහොතේ යතුරු පුවරුව හා මම ආලවන්තකම් පාන්නේ පුළුවන් කමකට නම් නොවෙයි. මේ දිනවල බහුලව ව්‍යාප්ත වන වෛරසය මාගේ ගතත් සිප වෙලාගෙන සිටිනා මොහොතකි. ඇස් ඇරීම පවා මහමෙරක ලෙස දැනේ. පදමට ගුටි කා ඇඳට වැටුනෙකෙකු මෙන් එකම ඉරියව්වක සිටියේ වෙනත් ඉරියව්වකට යාමට සිරුර හරවා ගැනීම පවා අමාරු කටයුත්තක වූ නිසාවෙනි. නමුත් සිතට දැනුන මේ සිතුවිල්ල වදන් වලට පෙරලිය යුතුම වේ. මාගේ මවගේ සෙනෙහස මුළු සර්බර් අවකාශයටම ආඩම්බරයෙන් කිව යුතු වේ. මාගේ නිවස නියෝජනය කරන්නේ මෙවැනි මව් චරිත වලින් එකක් පමණි. මෙය කියවන නුඹේ මවත් මෙමමයි. මව යන චරිතය විවාදයෙන් තොර වන්නේ එනිසාවෙනි.

            " සුදු ..... සුදු අම්මා .... දැන් කොහොමද ? "
            " ම්ම්ම්ම්ම්ම්ම් ..... හ්ම්ම්ම් .... "
            " ඔය තාම අඩුවක් නෑනේ. බෙහෙත් ටිකක් ගෙන්න යන් "
            " ම්හ්හ්හ්හ්...... ම්හ්හ්හ්හ්හ්හ්..... "
            " බෑ කියලා බෑ , නැගිටින්නකෝ "

            ඇය මගේ නළලත මත අත තබාගෙනම නිදියහනෙන් මා ගලවා ගැනීමට උත්සුක වූවාය. කිසිඳු වචනයක් නොකී මම කෙඳිරියෙන්ම අකැමැත්ත ප්‍රකාශ කළෙමි. මගේ වචන තඹ සතේකට ගණන් නොගත් ඈ ඇගේ අණ ක්‍රියාත්මක කලේ මා කෙරෙහි තිබුණු ආදරයට බව මම හොඳාකාරවම දැන සිටියෙමි.

            පෙර දින පැවති සියුම් කන් රිදුම වැඩි ගණන් නොගත් නිසාවෙන් එදින රාත්‍රිය පුරාවටම මා හට එහි ගණන් නොගැනීමේ දඬුවම් විඳින්නට සිදුවිණි. එහි ප්‍රතිඵලයක් ලෙස උදෑසන මවගේ ආදරණිය අණට යටත් වන්නටද මට සිදුවිය.

            කෙසේනමුත් ඒ වනවිට ඇයද උණ තත්වයෙන් මිදී යථා තත්වයට ඒමේ ක්‍රියාවලියේ පසු විය. ඇගේ ධෛර්යය සැමවිට මට අභියෝගයක් විය. ඇඟ පත කකියන උණක් හා ඇය සටන් කරනු මම දුටුවෙමි. සතියක සිට උදෑසන බත් මුල බැඳ දී ඇය මාව රැකියාව වෙත පිටත් කිරීමට සුදානම් වූවේ වධකාර උණත් සිරුරේ සඟවාගෙනයි. රාත්‍රියේදී මා හා උදෑසන නොනැගිටින ලෙස එකඟ වී රහසේම උදෑසන අවදි වී සුපුරුදු මුළුතැන්ගෙට යන්නේ හිතේ හයියට මිස කළහැකි කමකට නොවන බව මම දැනසිටියෙමි. නමුත් මා කියනා දෙයක් කණකට මායිම් නොකරන්නේ නම් මා කුමක් කරන්නද ?   

            යන්තමින් ඇඟේ පතේ අමාරුව තිබුනත් වැඩක් පලක් කරනවා කීම මට නම් අපායට ඇද දැමීම මෙනි. එසේ නම් ඇය මේ දේවල් විඳගෙන නිවසක් අපායක් නොකර ගන්නේ කෙසේද ? හුදෙක් මා දරුවා යන චරිතයටත් ඈ මව යන චරිතයටත් පණ පොවන්නේ ඒ නිසාම විය යුතුයි.

             ඇගේ අසනීප අසනීප ලෙස නොසැලකීමත් මගේ අසනීප අසනීප ලෙසත් දුටු ඇය මිහිපිට ධෛර්යවන්තම කත නොවන්නේ කෙසේද ? දිනක් මුළුල්ලේ ඇගේ තුරුලේ, ඇගේ උණුහුමේ උන් මට ඇගේ හදවත ඇසුනි. දෙවියන්ගෙන් ඉල්ලුවේ ඇගේ සුවය නොවේ මගේ සුවයයි. මට ඇගේ හද එක්වරක් ඇසේ නම් ඇයට මගේ හද සියදහස් වරක් ඇසෙන වග මම දනිමි. එනිසා දයාබර මව්නි, මෙතරම් ආදරය නොකරන්න. නුඹේ සෙනෙහස දරාගන්නට බැරිව මම මියදේවි. නුඹේ තුරුලේ, නුඹේ උණුසුමේ.

            ලෝකය පුරාවට නුඹ මෙන් මව් චරිත තව කොපමණ ප්‍රමාණයක් ඉන්නට පුළුවන්ද ? කීදෙනෙක් මම මෙන් තමන්ගේ මව වෙනුවෙන් ආඩම්බර වෙනවා ඇතිද ? කීදෙනෙක් මව්වරුන් දසමසක් කුස හොවා ප්‍රසූත කල දරුවන් අතින් ගුටි කනවා ඇතිද ? දරුවා යන චරිතය විවාදාත්මක වන විට නුඹේ උත්තරීතර මව් පදවිය මට විවාදාත්මක නොවන්නේ එනිසයි.

            ආදරය මැනිය නොහැකියි නුඹ වෙනුවෙන් අම්මේ ....


-         අනූ 

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment