අනූගේ ඉරිදාව


අනූගේ ඉරිදාව 
2015.08.16 


සිත්තම් මායා | අනූ පෙරේරා  

ඉරිදා කියන්නේ මගේ ලව් එක. දෙයියනේ කියලා ගෙදරට වෙලා ඉන්න දවස නෙවැ. ගෙදරට ආපු යාළුවෙක් එක්ක මම ගියා කඩේ පැත්තේ. ලඟකදී ඉඳන් මං හරි හරියට මයිලෝ තොල ගාන්න ඇබ්බැහි වෙලා හරි කරදරේ. රුපියල් 40ක් කියන්නේ ඉතින් කජු ඇටද කොස් ඇටද මං අහන්නේ, ඈ මං අහන්නේ ? අනික ඉතිං තව එකෙකුත් පන්ගනාත්තු කරගෙන ගියාට මට හොඳ දඩේ. මටත් ඉතිං දෙයියන්ගේ පිහිටෙන් කන්න බොන්ට බැරි යාළුවෝ ටිකක් නෙවැ ඉන්නේ හිටං. ඈ... මේ මොනවා කියවෙනවද ? මෙච්චර කල් කුණු මාතෘකාව කතා නොකර ඉඳලා දවසක් තියාගෙන මොනවා අවුස්සගන්ට හදනවද මන්දා. කට කරුණාවයි, කට කරුණාවයි. :3 මම මේ කිය කිය හිටියේ කන්ට බොන්ට බැරි යාළුවා ගැනනේ. නම කියන්නත් හිතයි. එක්කෝ ඕනේ නෑ. 

" ඇන්ටි මයිලෝ දෙකක් "

" හප්පේ.... පෙරේරා රාළහාමිගේ දෝණියන්ද නේද, කාලෙකින් "

ඉස්සර ඉතිං අපේ ගමේ සොසයිටියේ ඕනෑම උත්සවයකට දඩ දාන්න ඔය කඩේ තමයි ප්‍රධාන ඉලක්කේ වෙන්නේ. අනූ පෙරේරා ඉතිං ඕවගේ පට්ටං කාරිය දැරුව නිසා මොණරු හම්බෙන තැන් ගැන අත්දැකීමෙන් දැනගෙන හිටියා ඉතිං. දැන් ඉතින් ළමයා කොලොම්පුරේ රාජකාරියට යන නිසා ඔය හැම කෙහෙම්මලකින්ම අයින් වෙලා ඉන්නේ. උදේ එළිවෙන්න කලින් ගෙදරින් යනවා, හවස කළුවර උනාම ගෙදරට එනවා. ඒ හින්ද ඉතින් කඩේ ඇන්ටිට දඩ දාන්න කිසි කෙනෙක් නෑ. ඕන් බලහල්ලකෝ මං නැති උන ගමන් ගමට ඉෂ්ඨ සිද්ධ වුන විපර්යාසේ ( කොලරය ඔසවන අතරේ ) ඒ ගැන අපි වෙනමම කතා කරමු. ;) 

" දැන් අනුවා කොළඹ වැඩට යනවනේ ඇන්ටි " ගත් කටටම මගේ යාළුවා කියපි. 

" අනේ හොඳා, නෑ... ඉතින් මහන්සි වෙලා ඉගෙනගත්තු නිසා හොඳ රස්සාවක් ලැබෙන්නම එපායැ " ඇන්ටිත් මාව උඩ යවන්ට දත කට මැද්දා නෙවැ . 

මම ඉතින් මොනා කියන්නද ? බොහොම හැදිච්ච පාහේ ළමයෙක් විදියට හිනා වේවි හිටියා. 

ඔන්න ඔහොම කියව කියව ඉන්නකොට ආවා කඩේ ඇන්ටිගේ දුව. 

" හා...නේ.. අනූ නංගා " මම නිකං රට ගිහින් ඉඳලා ඇවිත් දැක්කා වගේ එයත් කතාවේ මුලකට සැට් උනා. 

" අකිලා අක්කේ ? " පනාව කාරිය දාලා මාත් ඊට දෙවැනි වෙන්නේ නැතුව කිව්වා. හැබැයි ඉතිං ඉස්සර අපිට අකිලාව පේන්න බෑ. එයාගේ කොන්ඩ බූලක්  දැක්කත් බනිනවා. පස්සේ පස්සේ ඉතින් දන්නැද්ද, ඔය ණයට කඩෙන් රෝස් පාන් එහෙම කාලා, සල්ලි එහෙම නැති උනාම අකිලා අක්කා හොඳ අක්කා උනා. අදටත් ඉතින් වෙනසක් නෑ. වැඩේ කියන්නේ මාස තුන හතරකින් අද තමයි කඩේට ගොඩ උනේ. දැන් හොඳද නැද්ද කියලා කියලා අපි බලමුකෝ 

" අම්මේ නංගිලගෙන් මයිලෝ වලට සල්ලි ගන්න එපා.. " අකිලා අක්කා මෙහෙම කියනකොට මම හිතන්නේ කඩේ ඇන්ටිට හීනියට දාඩිය ටිකකුත් දැම්මා ;)  එහෙම වෙනකොට මට දාලා තිබුණ දාඩිය ටික හුළඟට වගේ ගහගෙන ගියා. :D 

මයිලෝ බටේ කටේ ඔබාගෙන අපි දෙන්නා එතන තිබ්බ බංකුවට බර උනේ පොඩි චැට් එකක් දාලම එන්න කියලා හිතාගෙන. 

" අනුවෝ ඔයා ෆේස්බුක් ඉන්නවද ? " අකිලා අක්කා මගෙන් ඇහුවම මෙච්චර වෙලා කටේම තියාගෙන හිටපු මයිලෝ බටේ කටෙන් ගැලවුනේ මොනවගේ උත්තරයක් ගැලපෙනවද කියලා හිත හිතමයි. කඩේ ඇන්ටි ෆේස්බුක් විරෝධියෙක්. මට ආරංචියේ හැටියට අකිලා අක්කා ෆේස්බුක් එකවුන්ට් එකක් හදා ගත්තා කියලා ගුටි කෙලියකුත් කඩේ ඇතුලේ ගිහින් තියෙනවා. 

අනු පෙරේරාගේ ස්ටෑන්ඩඩ් එක බහීදෝ කියන බයෙන් මම කට උත්තර නැති වෙලා ගියා. එක්කගෙන ආපු යාළුවත් මුරුක්කු පැකට් එහෙකට කුරුමානම් අල්ල අල්ලා ඉන්නවා මිසක් මට කිසි සපෝර්ට් එකක් නැතුවා. දෙයියෝ බුදුන් සිහි කරගන්නකොටම කඩේ ඇන්ටි කියපි, " අනේ අනේ මේ තමුසෙට වගේ මේ ළමයට ඇති අමාරුවක් නෑ ඔය එක එක සුද්දන්ගේ ගුබ්බෑයම් අස්සේ ලගින්න, ඇයි පුතේ.. කිසි වැඩක් නෑ පැය දෙක තුන ඕක අස්සෙමනේ " කියාගෙන අතකුත් නිකටට අරගෙන කඩේ ඇන්ටි මගේ දිහාවට හැරුනා කියන්නකෝ. 

දැන් ඉතිං කොහේ ගැලවිමක්ද, මම, " ඔව් ඇන්ටි " කියලා සියළු දේ සත්‍ය බවට තහවුරු කළා. 

" ඒක නේන්නං දරුවෝ මේ අපේ ඒකිට පොඩ්ඩක් කියලා දෙන්නකෝ " 
" හා ඇන්ටි " ඊටපස්සේ මමත් මගේ යාළුවත් මීක් නැත. 

" අනූ පුතේ... "

" ඇයි ඇන්ටි ..."

" ඉතින් කියන්නකෝ දරුවෝ අළුත් විස්තර "

" ඔයාට කියන්න ඇන්ටි අපේ අනුවා 'ලියනවා' නෙවෙයි න'ලියනවා' " ෆේස්බුක් කතන්දරේට හොට නොදැම්ම එකා දැන් පැන පැනත් දෙනවා. මම කට උල් කරගෙන උත්තර දෙන්න සැදී පැහැදී තවමත් ඉන්නවා. 

" ඒ කිව්වේ ? "

" ඇන්ටිට කියන්න ( කතාව බර කරමින් ) මේ අපේ අනූ ඉන්නවා නේද ( මගේ පිටට තට්ටුවක් දමමින් ) ලියනවා ලොවෙත් නැති වෙන්න. "

" ඇන්ටි මේ බොරු කියන්නේ " මම මූණ රතු කරගෙන කිව්වා. ( අම්මපා මම මුට කීයක්වත් දෙනවා කිව්වෙත් නෑ, අනේ මන්දා මොකාට එනවද කියලා, බලමු ) 

" බොරු නෙවෙයි ඇන්ටි. ඇන්ටි හිතුවට අනූගෙ අත අනූ තරම් සංවර නෑ , බොරුනම් මම ආයේ එනකොට ටැබ් එක අරගෙන එන්නම්කෝ ඇන්ටිට පෙන්නන්න " ( හොරුත් එක්ක බඩු කිව්වලු )

" මේ ඒක නෙවෙයි ඇයි දැන් වැඩිය ලියන්නේ නැත්තේ, මම අන්තිමේට දැක්කේ අර මල් විකුණන සිද්ධිය විතරයිනේ. ඇයි දැන් කෙල්ල බිසී ද ? " යාළුවා කට්ටියම ඉන්න තැන මගෙන් අහපි. 

" අයියෝ එහෙම නෙවෙයි, මම පොතක් ලිව්වා, මේ දවස්වල එකේ වැඩ ටිකක් තියෙනවා ______ ( යාළුවගේ නම සඳහන් කරයි ) " 

" අප්පට බොල කිව්වලු. පොතක් ලිව්වා ? ( ඇස් දෙක නළලට ගනිමින් ) අඩේ මරුනේ. කෝ කෝ අත දෙනවා ( සුභ පතමින් ) දැක්කනේ ඇන්ටි කෙල්ල දැන් ලේසි නෑ. කෙලින්ම කතුවරියක් ( මාව පෙන්වමින් ) හරි දැන් කවද්ද අපිට ඕක කියවන්න පුළුවන් " මගේ යාළුවා තවමත් ඇස් දෙක නළලේ තියාගමින්ම ඇහුවා. 

" පබ්ලිෂ් කරපු ගමන් කියන්නම්කො. ඔන්න පොතක් ගන්න ඕනෑ "

" එකට දහයක් ගන්නම්කෝ " ( ඇය මාව බදාගනිමින් ) 

කඩේ ඇන්ටිත්, අකිලා අක්කත්, කඩේට බඩු ගන්ට ආපු අපේ කතාවට කන් දීපු හැමෝමත් විශ් කාරිය කොළා හිටං :O අපි දෙන්නා විතරනේ ඉඳන් හිටියේ. 

" අහ්හ් ඒක නෙවෙයි ඇන්ටි, අනුවා ෆේස්බුක් ඉන්නවා හැබැයි " ( මේකා මගේ නම්බුව කෑවා. මෙච්චර රෙස්පට් එකක් ඇති කරගත්ත මොහොතේ මූ මාව කෑවා ) 

" නෑ ඉතින් අනූ දන්නවනේ ඕකේ ඉන්න ඕනේ කොහොමද කියලා _____. ඒ හින්ද ඔය ළමයා හිටියට කමක් නෑ " මොකද්ද බොලේ මේ හතර බීරි කතාව. මම හිතුවේ මගේ රෙස්පට් ශුන්‍ය උනා කියලනේ. හැබැයි ඉතින් ඇන්ටිගේ කතාව ඇත්ත. :) 

මයිලෝ දෙකට අමතරව යාළුවා මාන බලපු මුරුක්කු පැකට් එහෙකත් , ස්පන්චි දෙකකත් අලාභයක් කළ අපි දෙන්නා කඩේ උදවියට සමුදීලා ආවේ උරහිසට අතුත් දාගෙනමයි. 

එන අතරේ මට පුංචි ආඩම්බර කමක් දැනුනා මම ගැන. මට වඩා අවුරුද්දකට වැඩිමල් උන යාළුවගේ නිර්ලෝභ ගෞරවය මම හිස්මුදුනින් පිළිගත්තා. හිතේ කිසි කහටක් නැති මිනිස්සු තව කෙනෙක්ව ලෝභ නැතුව අගය කරනවා. ඒ මගේ යාළුවත් එහෙම කෙනෙක්. 
අන් කවරදාකටත් වැඩියෙන් මා සතුටු උනා මා ගැනම. 
( යාළුවගේ නම නොදමන ලෙසට කල ඉල්ලීම මත නම නොලිව්වෙමි )

- අනූ 

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment