කනට ලෝදිය


කනට ලෝදිය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට තියෙන්නේ අමුතුම ලෙඩක්. ඇතැම් විට ඒක මේ මාගේ සමකාලීනයන් හැමෝටම තියෙන ලෙඩක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් මේ වයසේ වැරද්දක් වෙන්නත් ඇති. ඒ ලෙඩේට මං ළඟ තියෙන වචනෙනම් ' උණ ' කියන එක. කැස්සක් හෙම්බිරිස්සාවක් වගේ නෙවෙයි මොනවා හරි අළුත් දෙයක් වෙනස් දෙයක් කරන්න තියෙන උණක්. හැබැයි මේ උණට අපි වගේ මිනිස්සුන්ට අත දෙන්න කවුරුත් නෑ. අපිමයි නැගිටින්න ඕනේ. නැගිට්ට දවසක අත දෙන්න පොර කාවි හැබැයි එතකොට එයාලා ගොඩාක් ප්‍රමාද වේවි. 

මේ සමාජය මගෙන් සුදුසුකමක් ඉල්ලනවා වෙනසට මුලපුරන්න. ඔය අනිත් අය වගේ ලෝකේ අල්ලන්න නෙවෙයි මටම කියලා පුංචි තැනක් මේ ලොකුම ලොකු ලෝකේ ඇතුලේ හදාගන්න. මගේම කකුල් දෙකට වෙර අරගෙන බැරි බැරි ගාතේ දනී පනී ගාගෙන එනකොට සමාජය මගෙන් ප්‍රශ්නයක් අහනවා. මාව කනාවටවත් නොදැකපු සමාජයක් මගෙන් මාව රෙකමදාරු කළ පිළිගත් ලියවිල්ලක් ඉල්ලනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ හිතවත් කමට ' අහ්හ් මේ අහවලා හොඳ එකාය, දෙමව්පියෝ පන්සලේ ඉහළ පෙලේ දායකයෝය ' කිවූ පලියට කෙනෙකුගේ හොඳ නරක අපි තීරණේ කරන්නේ කොහොමද ? ' හප්පේ මේ අහවලාගේ අම්මලා තාත්තලාගේ පරම්පරාවේ ඉඳන් ගුණ යහපත් උදවිය ' කිවූ පමණින් කෙනෙකුගේ හොඳ නරක තීරණය කරන්නේ කොහොමද ? අවුරුදු දහතුනකට පස්සේ ඉස්කෝලේ චරිත සහතිකේ ගන්න යන වෙලාවේදී ඉන්න අළුත් ප්‍රින්සිපල් ' මේ අහවලා පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් නේ ' කිවූ පමණින් කෙනෙකු හැබෑවටම හොඳද නරකද කියලා හිතන්නේ කොහොමද ? මා දකිනා විදියට තමන් ගැන රෙකමදාරුවක් දෙන්න පුළුවන් හොඳම කෙනා තමන්මයි. තමන්ටම තමන්ගේ හොඳ නොහොඳ බලන්න, තමන්ව පරික්ෂා කරගන්න ඕනේ තරම් අවස්ථා ලැබෙනවා. ' අම්මා මට බැන්නට මං හොඳයි ' කිව්වට මොකද අම්මා උට බනින්න ඇත්තේත් උගේ වැරැද්දකට වෙන්න ඇතිනේ. 

ලංකාව තවමත් අනාදිමත් යුගයේ උන අප්ඩේට් එකක් වගේ. ආධ්‍යාත්මික වශයෙන් විශාල දියුණුවක් ලබලා නෑ. අහවල් ආණ්ඩුව හොඳය අහවල් ආණ්ඩුව නරකය කියනවට වඩා ඔය මොන ආණ්ඩුව ආවත් පුරවැසියාට ලැබෙන්නේ හැමදාම හම්බෙන කුඩම්මගේ ආණ්ඩුවම තමයි. හැබැයි මේ රටේ අධ්‍යාපනයේ නම් දරාගන්න බැරි වෙනසක් කළ යුතු වෙනවා. මොකද අධ්‍යාපනය කියන්නේ හොඳ හෝ නරක මිනිහෙකුගේ පළවෙනි අඩිතාලම. සියයට සියයක් (100%) නරකාදිය දෙව්ලොවක් කරන්න බැරි වෙයි හැබැයි හැත්තෑ පහක් (75%) විතර දිව්‍යලෝක ගත කරන්න පුළුවන් වෙයි. අන්න එතකොට මේ මෑතකදී මිලින උන සේයාලා වගේ පුංචි දරුවන් බුද්ධි මට්ටමින් හීන මිනිසුන්ගෙන් බේරිලා කරදඬු උස් මහත් කරගනිවී. 

නිවුස් බලන අතර තුරේ, අකුරු කරන මේ මොහොතේත් අහන්න ලැබෙන දේවල් පවා කන් ඇතුළට ලෝදිය වත්කරනවා වගේ. එහෙම කිව්වේ පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමට ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පතිවරයෙකු සම්බන්ධ පුවතක් නිසාවෙනි. තමන් දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරි කරලා අත් පය ළපටි කරපු තමන්ගේ රන්තරන් දරුවාව ඉස්කෝලෙකට දාගන්න ගියාම ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයා එක්ක යහන් ගත වෙන්න ඕනේ නම් මේ සමාජ ක්‍රමය ඇතුලේ වටිනාකමක් නැති වෙන්නේ පුස් බැඳිච්ච අධ්‍යාපන ක්‍රමයටද එහෙමත් නැති නම් දරුවෙක් වදපු උත්තරීතර අම්මා කෙනෙක්ටද කියන කාරණාව දෙපාරක් හිතන්න වෙනවා. 

- අනූ  



Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment