Ads Top

Humanity Returns


Humanity Returns

Siththam Maya | Anu Perera

ඇතැම් වේලාවන් වලදී, නොව හුදෙක් වේලාවන් වලදී මිනිස් සිත තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිම දෙයක නැත. එය පොදුයි. එනමුදු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඔවුනොවුන්ගේ ආවේණික ගති මත ඔවුන්ගේ තේරුම් නොගැනීම වෙනස් වෙයි. නරකම නොව හොඳ පවා විය හැක.

කල්පනා කරනට නේක ප්‍රශ්න කන්දක් මැද අළුත් ඉස්ක්රිප්ට් එකක නැවුමු අදහස් ගොන්නක් සිහි කරමින් ගෙදරට සේන්දු වෙන්නට රජරට රැජිණ දුම්රියේ මධ්‍යම පංතියට ගොඩ උන මම කඩල ගොට්ටක මිහිරියාව විඳිනටද අමතක නොකළෙමි. වම් අත කඩල ගොට්ට අල්ලා ගත් පසු ඉතිරි දකුණතෙහි මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල කඩල ගැනීමට භාවිතා කළ අතර ඉතිරි ඇඟිලි තුනටම තිබුණු එකම රාජාකාරිය වූවේ මාගේ දේහය බැලන්ස් කරගැනීමයි. 

මගේ පිටපතට අනුව බස් රථය ඇද්දුවා පමණි. දුම්රියත් එහෙට මෙහෙට පැද්දුනේ මගේ අදහස් වලට ප්‍රායෝගික බවක් දෙමින්මයි. ඒ වනවිට කඩල ගොට්ටත් අවසන් හුස්ම හෙලා තිබුණි. බෝතල් කළ වතුර රැගත් වෙළෙන්දෙකු මෙන්ම වඩේ කූඩයක් හිස මත තබාගත් වෙළෙන්දෙකු ඒ අසලින් සිටි තැනින් මාරු වීමට නියමිතව තිබිණි. කිසිවකු ඔවුන්ට හුවමාරු වීමට ඉඩක් දෙන පාටක් නොපෙනුන බැවින් මානුෂීය සිතක් පහළ කරගත් මා හිඳගෙන උන් අය දෙසට අඩියක් තබා ඉඩ ටිකක් සාදා දුන්නෙමි. 

බැලන්ස් එකට හිස මතට ගත් වතුර බෝතල් කවරේ තැනක, හිස මත තබාගෙන එහාට ගිය වඩේ කූඩය වැදීමෙන් වැඩේ අන්බැලන්ස් විය. වතුර බෝතල් කවරය සට පට ගා වැටෙන විට ඔහුගේ අතේ තිබුණු බෝතල් දෙකම ' දඩන් ' ශබ්දයෙන් මගේ පාදය මතට පතිත වූවේ ' ආවූ ' කෙඳිරිල්ලක් ද සමඟමයි. පව්නේ යන හැඟීමෙන් ඉවසා සිටියා මිස නැතිනම් අත දිග හැර දෙකක් අනින්නට තරම් සිතුණි. 

නැවතත් මම මාගේ කල්පනා ලොවෙහි නිමග්න වෙමින් ඊළඟ ජවනිකාව සිහි කරන්නට වීමි. 

" මිස් ඔයා මෙතනට එන්නකෝ ( ශබ්දයෙන් ) මිස් හින්දා තමයි හැමදේම උනේ ( හෙමින් ) වඩේ ... වඩේ ... වඩේ .... " දෙවැනි වර වඩේ මහත්තයා මා පසු කරමින් එක් වගන්තියක් මට ඇසෙන පරිදි කියා අනෙක් වගන්තිය ඇසෙන නොඇසෙන ලෙස කියාගෙන යන්නට ලැහැස්ති විය. 

" ආ... ආ.... මොකද්ද තමුන් කිව්වේ ? " ආපු කේන්තියට කන් පවා රත් වෙනු මට දැනුණි. දෙයියනේ කියා මානුෂීයව කළ උදව්වට ප්‍රති උපකාර සමාජයේ පහත මට්ටමක සිටින වඩේ මහත්තයගෙන් මම භුක්ති වින්දෙමි. පංති පරතරය මාගේ සිතට වාත්තු විය.

" න්...  නෑ ... නෑ ... මිස්ට නෙවෙයි " මාගේ මුර්ග බව ඉදිරියේ යටහත් පහත් වුනු ඔහුගේ බයාදු කටහඬත් සමඟ එතනින් සැනෙන් පලා ගියේය. 

සමාජය මට සිතන්නට යමක් අද දිනයේදී ඉතිරි කළා යැයි මට සිතුණි. පංති පරතරයේ ක්‍රියා කළ යුතු අන්දම සිතට දැනුණි. සැබවින්ම ගැළපෙන තැන තැබිය යුතු කෙනා නොවන කෙනා තැබිය යුතු තැන ගැන අවබෝධ ලැබුවෙමි. 

වඩේ මහතාට පින්සිදු වන්නට ' ඌ ' සහ ' ඔහු ' අතර තිබෙන වෙනස අඳුන ගත්තෙමි.  

- අනූ

Siththam Maya | Anu Perera. Powered by Blogger.