මගෙයි උඹලගෙයි පොඩි කාලේ වෙනස්


මගෙයි උඹලගෙයි පොඩි කාලේ වෙනස්

සිත්තම් මායා | අනූ පෙරේරා

අද විසිදෙවෙනිදා (22) ගමේ පන්සලට මාසික පේරු දාන දවස. මමත් ගෙදර නිසා අම්මත් එක්ක පන්සලට දානේ අරං ගියා පන්සල්. ඉස්සර වගේ නෙවෙයි දැන් කාලේ. සුදුපිරුවට ඇඳගෙන හිස් මුදුනටත් සුදු රෙද්දක් දාගෙන සාධුකාර දීගෙන දානේ ගෙනියනවා අඩුයි. අඩුයි කීවට නැති තරම්. දානේ ගෙනියන්න වාහන තියෙනවනේ, ඉතිං මොකට පය වෙහෙසනවද ? තුන් රෝද රථය ඇතුලේ පිළිවෙල කරගත් දානේ භාජන හිස මුදුනට ගන්න බැරි නිසා ඔබින ගරු කිරීමක් ලෙස සුදු රෙද්දක් එලලා උකුල උඩ තියාන ගෙනිච්චේ. පන්සල් වත්තට ඇතුල් වෙනකොටයි මතක් උනේ ' හත්දෙයියනේ අද ඉරිදනේ ' කියලා. ඒක දැනගත්තේ පන්සල් වත්තට ඇතුල් වෙනකොට දැකපු සෙරෙප්පු කන්දාරව හින්දයි. ඒ කියන්නේ අද දහම් පාසල් දවස. හම්මේ අල්ගම හාමුදුරුවොත් ඇති. දහම් පාසලේ ඕනෙම ළමයෙක් අල්ගම හාමුදුවන්ට ගරු කරනවා. මං නම් හිතන්නේ ගරු කිරිමකටත් වැඩියෙන් අපි හාමුදුරුවන්ට බයයි.

අපි මේ ගමට ඇවිත් තවම පොඩි කාලයයි, මගේ මුළු පොඩි කාලෙම ගෙවුනේ කුරුණෑගල දුම්රිය දෙපාර්තමේන්තු නිවෙස් වල. අපේ කල්ලියක් හිටියා. සෙල්ලම් කළේ, දහම් පාසල් ගියේ එකට. ඉස්කෝලේ විතරක් ගියේ වෙනම. කුරුණෑගල හැම ඉස්කොලේකම ළමයි හිටපු නිසා එක එක්කෙනා එයාලගේ විධි තිබුණා ඉස්කෝලේ යන්න. මාව ඉස්කෝල ළමයි ගෙනියන වෑන් එකකට දාලා තිබුණේ. කන්දෙපොල අංකල්ගේ වෑන් එකට. දන්නේ නෑ දැන් අංකල් කොහේ ඉන්නවද , මොනවා කරනවද කියලා හැබැයි අදටත් මට එයාගේ රූපේ මතකයි. හවස 4 කියන්නේ අපේ සෙල්ලම් ටයිම් එක. කල්ලියේ සැරම අම්මා හිටියේ මට. සෙල්ලම් කරන්න යන්න කලින් ගෙදර වැඩ ඔක්කොම කරලා යන්න ඕනේ. ඊටපස්සේ ' අම්මේ .. අම්මේ.. ' කිය කිය අම්මගේ පස්සෙන් යනකොට අම්මා දන්නවා මේ අර අදින්නේ මොකටද කියලා. ඊටපස්සේ මගේ යාළුවෝ දේවතාවෝ වගේ මාව ගලවගන්න එනවා. වැට ගාවට වෙලා ' ඇන්ටි .. ඇන්ටි .. ' කියනකොටත් අම්මා දන්නවා මේ අර අදින්නේ කල්ලියට සගයව කැන්දන් යන්න කියලා. අවසරය ලැබෙනවා විතරයි, මම ෆ්ලෑෂ් ටත් වඩා වැඩි වේගෙන් වැටෙන් එහා පැත්තට දුවන්නේ. දන්නවනේ අම්මලාගේ හිත් වෙනස් කරගන්න ඒ හැටි වෙලා ඕනේ නෑනේ.

ඒ වගේම තමයි ඉරිදා දවස. ළමයෙක් දහම් පාසල් යන්න ඕනේ ඇයි කියලා ඇහුවොත් නිවැරදි ශික්ෂණයක් හදාගන්න වගේ රටේ නැති පණ්ඩිත කතා කියන්න පුළුවන්. හැබැයි අපි දහම් පාසල් ගියේ ජඩ වැඩ ඔක්කොම කරන්න. හැබැයි ඒ හැම ජඩ වැඩක්ම අපි කළේ හරිම අහිංසක විදියට. ඉන්ටවල් එකට ගල් සියඹලා ගහකට නිකං ඉන්න දුන්නේ නැති තරම්, අඹ කාලෙට අඹ ගස්, ජම්බු කාලෙට ජම්බු ගස්, බිලිං ගස්, එරමිණියා කටු ගාලවල්, වෙරළු ගස්,  ...ඔය වගේ එකී නොකී පළතුරක් තිබ්බ හැම ගහකටම අපි වගකිව්වා. භාගෙට කැඩිලා තිබුණ පඩිපෙළේ ' දිය ගොඩ ' කළා. ගරාවැටුන ගොඩනැගිල්ලක් පිටිපස්සේ තිබුණ වැල් වගයක එල්ලී එල්ලී ' ටාසන් ' ගියා. ඔව් මේ ළමාසාරි ඇඳගෙන ඔය හැම ජඩ වැඩක්ම කළා. අයියලා පොකුණේ ඉස්ගෙඩි පැටව් අල්ලනකොට අපි ලොකු හාමුදුරුවන්ට කේළම් කිව්වා. මල්ලිලා ඒ වැඩේ කරනකොට උන්ට හොඳටම තඩි බෑවා. දහම් පාසල පටන් ගන්නේ 8 ට නම් අපේ කල්ලිය මලුත් කඩාගෙන දහම් පාසල් යන්නේ උදේ 7 ට විතර. මොකද අපිට ගිහිං කරන්න වැඩ තිබුණා. මල් ආසන හෝදලා මල් වට්ටි හදලා, පහන්වල කළු තෙල් අයින් කරලා හඳුන්කුරු ගහන එව්වා සුද්ධ කරලයි උදේ පන්සිල් ගත්තේ.

පොඩි හාමුදුරුවෝ ඔක්කොම වගේ අපිත් එක්ක හෙන ෆිට්. අනේ මන්ද පුංචි කාලේ අපිට දැනුණේ එයාලා අපේ හොඳ යාළුවො කියලා. ගරු කිරීමකට වැඩිය යාළු බැඳීමක් පොඩි හමුදුරුවෝලයි අපියි අතරේ තිබුණා. ලොකු වෙනකොට දැනුන ගැහැණු පිරිමි බෙදීම ඒ කාලේ හිතේ කොනකවත් තිබුණේ නෑ. කොච්චර දඟ උනත් පන්සලේ හැම හාමුදුරු කෙනෙක්ම අපිට ලැදියි. සමහරවිට හාමුදුරුවොත් එයාලගේ පුංචි කාලේ අපෙන් විඳින්න ඇති.

අපේ කල්ලියේ නායකයා මම. මම තමයි සෙනඟ රැස් කරන්නේ. අරහෙම කරමු මෙහෙම කරමු කියන්නේ මම. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට දහය වසරේදී පළවෙනි වතාවට කිසිම ළමයෙක් නොලබන උප ශිෂ්‍ය නායිකාව මම උපයාගත්තා. ශිෂ්‍ය නායක, නායිකා සහ උප සෙට් එක හිටියේ එකොළහ වසරෙන්, ඒ කියන්නේ දහම් පාසලේ අවසාන වසරෙන්. සාමාන්‍ය පෙළෙන් පස්සේ ළමයි දහම් පාසල් එන්නෙත් නෑනේ. මම දහය වසරෙන් උප පට්ටම හිමි කරගත්තා. ඊළඟ අවුරුද්දත් කුරුණෑගල දහම් පාසලේ මම හිටියානම් මට ශිෂ්‍ය නායිකාව වෙන්නත් තිබුණා. එහෙම උනේ නෑ මොකද අපි දැන් අපි මේ ඉන්න ගමට ආවා. එකොළහ වසර අවුරුද්දම මෙහෙ දහම් පාසලට යන්න උනා.

අර වගේ නිදහසක් මෙහෙ නෑ. මේ ළමයි ක්‍රියාශීලි නෑ. ඇයි තේරෙන්නේ නෑ මේ වෙනස. සමහරවිට මම කල්ලියෙන් මිදුන නිසාවත්ද ? එක අතකින් ඒ අවුරුද්ද හොඳයි. මොකද පේරු දානෙට ආවම ළමයි විවේක කාලයේ සෙට් සෙට් හැදිලා වටමේස සාකච්චා. මට මුන් ගැන දුක හිතුණා. මොකද අපි පොඩි කාලේ ලැබුණ විනාඩි පහකට හරි දුවලා පැනලා සෙල්ලම් කරා. අපි පන්සල් වත්තේ අල්ලන සෙල්ලං කරනවා ළමා සාරි , සරං කැලේ. මොනවා කරන්නද ? මට මුන්ගේ හැසිරීම් වෙනස් කරන්න පුළුවන් එකක් යැ. මම සතුටු උනා මං ගැන. මගේ පුංචි කාලේ ගැන. මගේ කල්ලිය ගැන.

- අනූ

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment