Ads Top

අනූටත් පෙන්ෂන් එකක්


අනූටත් පෙන්ෂන් එකක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මලියදේව බාලිකාවේ මට අද තිබුණා විභාගයක්. මගේ ජීවිතේ රජයේ රස්සාවක විභාග ප්‍රශ්න පත්තරේකට මූණ දුන්න පළවෙනි අවස්තාව උනත් මාත් එක්කම ලියපු බහුතරයකට මේක එයාලා ලියපු තවත් එක ප්‍රශ්න පත්තරයක් විතරක් වගේ. ඇයි මම මේක ලිව්වේ ? අනූ කියන්නේ රජයේ අයිස් ගහන පුටුවකට හිරවෙන්න ඕනේ චරිතයක්ද ? මම පිරිහිලාද ? ඔව් මම කළකිරීමට පත් වෙලා, මේ සමාජ ක්‍රමය ගැන. කොටින්ම මගේ දෙමව්පියන් ගැන. මොකද මගේ හීනේ මේ කෙහෙල්මල් පැන්ෂන් එකක් නිසා නැතිවෙනවට මම කැමති නෑ. 

සැලකිය යුතු අවුරුදු ගණනාවක් පසු උනාමයි මම කවුද කියලා මම අඳුරගත්තේ. මම මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න සුදුසු එකෙක් නෙවෙයි. මගේ ඇඟේ ලොජික් නෑ. අමතක නෑ මට, උපාධියට ඉගෙන ගත්තු දවස්වල මම ජාවා කේත කට පාඩම් කරපු කාලයක් තිබුණා. මගේ මොළේ මැත්ස් බයෝ කරපු උන්ගේ මොළේ වගේ තාර්කික නෑ. හැබැයි මම මගේ උපාධියට මහන්සි උනා. මාරාන්තික ලෙස මහන්සි උනා. ඒත් මගේ ඇඟේ ලොජික් නෑ,මොකද්ද මගේ ඇඟේ තියෙන්නේ ? 

මගේ ඇඟේ තියෙන්නේ කලාව. මට ඒක අඳුරගන්න කල් ගියා. මම ඉපදුනා විතරයි. හැම ළමයෙකුටම වගේ නැඟිටින්න මට දෙමව්පියෝ කියන ද්විත්ව චරිත ඕනේ. කෝ එයාලා? එයාලා කියන්නේ " දැන් උඹ රස්සාවක් කරපං " කියලා. ඇයි ? මගේ අනාගතේ හදන්න. සල්ලි හම්බකරලා ජීවිතේ ලස්සනට පිළිවෙලක් කරගන්න. ඒත් මගේ හීනේ අසම්පූර්ණ වෙලා කොහොමද මම පිළිවෙලක් වෙන්නේ ? ඔව් මම තැවුලෙන්. මම ස්වාධීන නෑ. මට තනියෙන් තීරණ ගන්න බෑ. මොකද තාත්තා නැතුව මම නිකමෙක් නිසා. මට කියලා සතයක්වත් නැති නිසා. 

" හරි මම රජයේ රස්සාවක එකක් කරන්නම් " මගේ එක වැකියට ගැසට් එක සතියෙන් සතියේ අපේ ගෙදර. අම්මට ෂුවර් නෑ. හිතුවක්කාර මගේ දුවට මොනවා වෙලාද ?

" මොකෝ එක පාරටම හිත වෙනස්වෙලා. මට ෂුවර් නෑ. මොකද්ද ප්ලෑන ? " අම්මා අහනවා. මාව දන්න එකම මනුස්සයා, මාව තේරුම් ගන්න එකම මනුස්සයා. එයා දන්නවා මම කවුද කියලා. එයා දන්නවා සක්‍රයා ඇවිත් කිව්වත් මම මට ඕනේ දේ කරනවමයි කියලා. 

ඔව් මේක ප්ලෑන් එකක්. මේ රට ගැන හිතලා නෙවෙයි මම ගැන හිතලා. ආත්මාර්තකාමිබවේ උපරිමයට ගිය ප්ලෑන් එකක්. හැබැයි කොයි දීපන්කරේ මොනවා කළත් මම කලාකාරයෙක්. ඊයෙත්, අදත්, මතුවටත්....

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.