Ads Top

Family to JAFFNA II - යාපනේ දුම්රිය ස්ථානයයි අපේ නැවතුමයි


Family to JAFFNA II
යාපනේ දුම්රිය ස්ථානයයි අපේ නැවතුමයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

( යාපනේ දුම්රිය ස්ථානය )

ළඟ පාත තියෙන නාගදීප විහාරයට තමයි මේ හැන්දෑකරේ යන්න පුළුවන් වෙන්නේ. බලමු යාපනේ ලස්සන රෑට ද දවලේටද කියලා. ඒක බලන්න කලින් අපි නවාතැනක් හොයාගන්නත් එපැයි. හඩ්ඩො වගේ වෛවාරණ ඇඳුමෙන් පන්සලකට යන සිරිතක් නියම බෞද්ධයෙකුගේ ලක්ෂණයක් නෙවෙයිනේ. ඒ නිසා ඉස්සෙල්ලම ඉන්න තැනක් සෙට් කරගෙන නාලා පිරිසිඳු වෙන්ට ඕනෑ. අලුතෙන් හදපු නිසා වෙන්න ඇති ස්ටේෂම මාරම ලස්සනයි. මාරම පිරිසිඳුයි. 



එන්න කලින් තාත්තා ස්ටේෂන් රූම්ස් බුක් කරලනේ. දැනගත්තු ගමන් මට කිව්වා ' අනේ අපි වෙන කොහෙහරි නවතිමුකෝ ' කියලා. මේ වගේ තැන් වල ඉඳලා නෑ වගේ බොරු සෝබනේට නම් නෙවෙයි. ඔය රේල්වේ කුවාටර්ස් වල අපි ඇති පදමට ඉඳලා තියෙන නිසාත්, ඒවගේ අවම පහසුකමුත් අවම විදියට තියෙන විදියත් දන්න නිසාත් මිසක් පුහු පොෂ් ගතියට නෙවෙයි. ' නෑ මේවා හොඳයි ' තාත්තගේ ඒකමතික තීරණේට මට අවනත වෙන්න උනා අන්තිමේදී. දුම්රිය ස්ථානය එළියට යන්නත් කලින් දකුණු අත පැත්තේ උඩහට යන්න තියෙන පඩිපෙළ දිගේ අපිට කාමරේ පෙන්නවන්න ආපු කොල්ලත් එක්ක  බැරි බැරි ගාතේ මාත් ඇදුනා. 


( කාමර අංක දෙක, මේ අපේ ගිමන්හල )

' මහත්තයලා පොඩ්ඩක් මෙතනින් වාඩි වෙලා ඉන්නවද, මම ඉක්මනට ඇතුල පිරිසිඳු කරලා දෙන්නම් ' 

අපේ වටින කාලයෙන් විනාඩි පහළොවක් විතර අරගෙන එයා කාමරේ සුද්ධ පවිත්‍ර කරලා දුන්නා. 

' වාව් මරුනේ ' කාමරේට ඇතුල් වෙනකොටම මම මගේ හිතට කියාගත්තා. හොටෙල් එකක වගේනේ. මරු මරු. දැනුයි ඇඟට ලේ ඉනුවේ. කාමරේ පෙනුමෙන් සැප පාටයි.


( සැප කාමරයක්නේ )

කාමරේ හැම අස්සක මුල්ලකම BOC ගැජමැටික් එකක් තිබුණේ ඇයි කියලා නම් හොයලා බලන්නම ඕනේ. සමහරවිට මේ දුම්රිය ස්ථානයේ බැතිබර දායකත්වය නිශාන්ත අයියලාගේ තිලංක අයියලගේ BOC එකද දන්නෙත් නෑනේ. කොහොමින් හරි කාමරේ මගේ හිතට සැටිස්. පොඩි පොඩි අඩුපාඩුකම් නැතුව නෙවෙයි. ඒවා සාමාන්‍ය දේවල්. ඔයාලත් ආපු දවසක මේ වගේ එකක නවතින්න. ෆැමිලි පැක් එකේ කාමරයක් වැඩිය නෑ දවසට රුපියල් 3000 යි. සල්ලි වගේ නෙවෙයි ඉතිං ගමන ඩීසන්ට් වෙන්නත් එපැයි. නැත්තම් ඉතිං විශ්‍රාම ශාලා එහෙමත් තියෙනවා නඩ වලට නවතින්න. ඒ අත්දැකීම කොහොමද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි මම ඒක විඳින්න ආසත් නෑ. අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ, කාගෙන්වත් කරදරෙකුත් නෑ. 

වැඩිය කාලේ කන්නේ නැතුව කට්ටියම පට පට ගාලා නාලා සුදුවට ලෑස්ති වෙලා එහෙම ආයෙමත් කාමරෙන් එළියට බැස්සේ ස්ටේෂන් ඉසව්වේම තියෙන නාග විහාරේ බලන්න යන්නයි. හැබැයි ඉතිං මේ දෙසැම්බරේ වැඩිය සෙනඟ ඇදෙන කාලයක් නෙවෙයිලු. වහිනවනේ. කමක් නෑ ගිහින්ම බලමු.....

පසුවට ලියමි 
- අනූ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.