Ads Top

අනුවගේ සති අන්තේ v


අනුවගේ සති අන්තේ v 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අනුවට මතක නෑ හරිහමන් විදියට හුස්මක් කටක් ගත්තද කියලා. ත්‍රීවිල් අයියට පිං දිදී යනකං ගියේ. රැජිණ අද්දන්න විනාඩි තුනක් විතරක් තියෙන්න ඉස්ටේෂමට ගොඩ උනා. කෝමහරි ට්‍රේන් එක අල්ලගත්තා කියන්නකෝ. ඊටපස්සේ තමයි හොඳම හරිය. ට්‍රේන් එකේ කට කපලා සෙනඟ. යාළුවට කෝල් කළා බලන්ට.

“ ඒයි... කොහෙද ඉන්නේ ? ”
“ ඇන්ජිම අත ඇරලා තුන්වෙනි පෙට්ටියේ මැද දොරෙන් නැගපිය ”

“ හාන් ”

අනුවා ෆෝන් කට්ට තියලා නැග්ගා තුන්වෙනි පෙට්ටියේ මැද දොරෙන්. හම්මා කට කපලා සෙනඟ. එහෙට යන්නත් බෑ, මෙහෙට යන්නත් බෑ. ඒත් ඉතිං මේ යකාව හොයාගන්නත් එපැයි. මිනිසුන්ගේ සුමිහිරි ශබ්ධ නාද අතරින් ‘ එක කුසුමි ’ කියලා අනුවා ඉස්සරහට ඇදුනා. 

“ කොහෙද යකු ? ”

“ මං ඉඳගෙන ”

“ මං මේ වැසිකිළිය ළඟ ”

“ මේ පැත්ත බලන්න ”

“ මාව පේනවද ? ”

“ නෑ ... නෑ නිකමට කිව්වේ ”

“ යකෝ මෝඩ ජෝක්ස් කරන්නේ නැතුව මම ඉස්සරහටද පිටිපස්සටද එන්න ඕනේ කියාපිය, මේ මිනිස්සු බනිනවා ඕයි සක බඹරේ වගේ කැරකෙනකොට. ” 

“ මෙතන තඩි බඩක් තියෙන අංකල්ව පේනවද ? ”

“ ආ... ඔව් ඔව් තට්ටේ තියෙන කෙනාද ? ”

“ නෑ.... බං පොරගේ කොන්ඩේ තියෙනවා ”

“ මේ රතු ටි ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ ”

“ නෑ... බං ඉරි ඉරි එකක් ඇඳන් ඉන්නේ ”

“ බඩ තඩියෙක් ගැන කියවන්නේ නැතුව මට උඹේ විස්තරයක් කියාපිය ”

“ මැද දොරෙන් ද නැග්ගේ ? ”

“ ඔව් ඔව් ”

“ ඉතිං මේ දොර ගාවම මම ඉන්නේ ”

“ මාත් ඉන්නේ දොර ගාවම තමයි බොල ”

“ ඉතිං... මේ... ”

“ අනේ මේ තියපිය ෆෝන් එක, මම ගම්පහෙන් හොයාගන්නම් සෙනග බැස්සම ”

ඉහින් කනින් දාඩිය වක්කරගෙන එක අතක ලැප් බෑග් එකයි, අනිත් අතේ නෝමල් බෑග් එකයි දාගෙන, බත් කන අතින් ෆෝන් කට්ටත් කනේ තියාගෙන අනුවා ඉන්නවා නිකං දෙමටගොඩ හිඟන්නෙක් වගේ. අනුවම අනුවව දැක්කනම් නූල් බඳින්නත් තියෙන්න තිබුණා. ඔන්න ඔය වගේ අප්පිරියා මොහොතක දැක්කේ අනුවගේ හෙනම ෆිට් එකක් ඉන්නවා දෙවි කෙනෙක් වගේ. 

“ ඒ... ෂූ... ෂූ... මනා..... මනා..... ”

- අනුවගේ ජරමර ඉදිරියට  

Siththam Maya | Anu Perera. Powered by Blogger.