Ads Top

අනුවාගේ අපිළිවෙල ජිවිතේ


අනුවාගේ අපිළිවෙල ජිවිතේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මගේ කාමරය පිස්සන් කොටුව මෙනි. දිනක් දෙකක්, ඇතැම් විට දින තුනක් හතරක් මුළුල්ලේම මවගේ කටේම තිබුණේ, " සුදු පුතා බලන්න කාමරේ හැටි, අස් කරගන්න, දැන් මම මේ කීවෙනි පාරද ඔයාට කියන්නේ " යන්නයි. බේරෙන්නටම බැරි බව තේරුම් ගත් එක්තරා දිනෙක එය උඩින් පල්ලෙන් අස් කර දැමුවෙමි. ඒත් හිතට සැටිස් මදිය. 
භාග වැඩ වලට මගේ කිසි කැමැත්තක් නැත. භාග වැඩ නොකරන්නේද නැත. සැබැවින් මා පිළිවෙල අයෙක්ද, අපිළිවෙල අයෙක්ද යන්න පවා මටම ගැටළුවකි. තවත් එක්තරා දිනෙක ඇය සැරටම කාමරේ ඇති අපිළිවෙල ගැන කීවාය. " ඉතිං අප්පා මං මේක කරේ තියන් 
ඉන්නද කියන්නේ " යැයි කීමට සිතුනත් අම්මාට ඇති ආදරය නිසාම එය නොකීවෙමි. වෙන අයෙකුට නම් අම්මපා මූණටම කියමි. තවත් නිගමනයකට එළඹිය හැක. මෙහි මා යන තැනැත්තා ක්ෂණික කෝප කාරයෙකි. 

විසි හතර පැයේන් වැඩි පැය ගණනක් එල්බගෙන සිටින්න ලැප් ටොප් පරිඝනකයේය. වැදගත් යැයි සම්මත කිසිඳු මඟුලක් කරන්නේද නැත. අවැදගත් දෙයක් කරන්නේද නැත. සතියකට වතාවක් ගෙන යන කැම්පස් පොත රැයේ පැය කිහිපයක් වසා දැමූ ලැප් ටොප් පරිඝනකයේ පියන මතට වැටෙන අතරම ආයේම ලැප් ටොප් පරිඝනකය 
විවර කරන විට එය ඇඳ මතට වැටෙයි. ඒ සමඟ උඩින් ලියමින් පවතින පිටපත් ගොන්නක් සීසීකඩ යයි. ඒ අතර සිලෝන් ටුඩේ පත්තරයක් පරණ වෙමින් හිඳියි. පෙනෙන හැටියට කැම්පස් පොතේ සටහන් ඇඳ මත සිටිනා පැන්ඩේක් දෙන්නෙක් පාඩම් කරයි. ඒ අතරම තවත් බොහෝ වටිනා කියනා දෑ ඇඳ මත සතුටින් කල් ගත කරයි. ඇඳ පහලම චාජර් 
එකක් දෙකක් පණ අදියි. නිදාගන්නට අවැසි විට ඇඳ මත වැදෑරි සිටින ඈයෝ සියල්ලක් එක් පසෙකට කොට අනෙක් පසෙහි සීරුවට නිදයි. 

මේ කුමන අහිකුන්ටක ජීවිතයක්ද, අතිශය පිළිවෙල ඇත්තෙක් ගැඹුරින් සිතන්නට අවකාශය තිබෙයි. එනමුත් මෙහිත් ජීවත් වන ජීවියෙක් සිටියි. මම මා ගැනම සිතයි. ඇතැම් විට විස්සෝප වෙයි, ඇතැම් විට සතුටු වෙයි. මා හට මේ විදිය හරි කොම්ෆොටබල්ය. මට සිතෙයි. 

පසු දිනෙක ලියමි.....

දැන් කාමරය හරි පිළිවෙලය. කොට්ට ගාණට තියා අළුත්ම ඇන්ග්‍රී බර්ඩ් ඇඳ ඇතිරිල්ලක්ද දමා ඇත. කැම්පස් පොතට වෙනමම ස්ථානයක් වෙන් වී ඇත. ලියවෙන පිටපත් ෆයිල් කවරයක බහාලවා කැම්පස් පොතට උඩින් තබා ඇත. ලැප් ටොප් පරිඝණයක අසලින් චාජරය හුරුබුහුටියට නවා ඇත. #ස්ටිකී_නෝට්ස්_ටික_ගැලවී_ඇත.
ටොයෝටා එකෙන් ලද දින දර්ශකයේ කිසි රවුමක් ඇඳි නැත. මේසය මත තිබුණු ඔරලෝසුවේ වයින් අලුතින් තියා ඇත. නැවතත් හඬ ගා කීමට හැක, කාමරය දැන් හරි පිළිවෙලය. මව බලාපොරොත්තු වූවේ මෙය විය යුතුය. මව තවමත් මාගේ එක් ගතිගුණයක් තේරුම් ගෙන නොමැත. ටුඩු ලිස්ට් එක අවසන් වනතෙක් මා පිළිවෙල වන්නේ නැත. වැඩක් සම්පූර්ණ කල පසුව අපිළිවෙලට මා අකමැතිය. සියල්ල නීට් විය යුතුය. කුණු 
පොදක් නොරැඳීය යුතුය. අවසාන නිගමනය "මේ මාගේ හැටිය "....

මතු සම්බන්ධයි, ජීවිතයට  

#අනුවා


Siththam Maya | Anu Perera. Powered by Blogger.