Ads Top

SRK ට ලියුමක්


SRK ට ලියුමක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

Daer SiR කියලා 
පටලෝලම පටන් අරං 
ඊට එහා පැත්තෙන් මල් දෙකක් ඇඳලා 
එයාට පෙම් හසුනක් ලිව්වා 
මං තුන - හතර වසරේ ඉද්දි 
අම්මා තමයි සපෝර්ට් කළේ වැඩේට 
ඉතිං මං තිස්තුන් කොටියම දෙවිවරු සිහිකරලා 
ලියුමට වැඳලා ඉඹලා එහෙම 
ගැට්ටුවාන හංදියේ තැපැල් කණුවට දාන්න කලින් 
අම්මා දිහා ආයෙමත් බැලුවේ 
'අම්මේ, වැඩේ ගොඩ යයි නේද ' වගේ අදහසෙන් 
ඊටපස්සේ මාස ගාණක් යනකං 
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු ගමන් 
ඉස්සෙල්ලම අම්මගෙන් මං අහන ප්‍රශ්නය තමයි 
"ලියුමක් ආවද අම්මේ " කියන දේ 
හිත රිද්දන්නේ නැතුව අම්මා කිව්වා 
"හෙටත් බලමුකෝ මගේ පුතේ, එයාට ගොඩක් වැඩ ඇතිනේ "
ඊටපස්සේ ලොකු වෙන්න ලොකුවෙන්න 
එයාගෙන් ලියුමක් මට එන්නේ නෑ කියලා 
මං හිත හදාගත්තා 
ඔව් මට ඒ ලියුම ආවේ නෑ 
හැබැයි 
පෙරේදා දිහාවේ 
මගේ නමට ඉන්දියාවෙන් ලියුමක් ඇවිත් තියෙනවා කියලා 
තකහනිය අම්මා කෝල් එකක් දුන්නාම 
ඒ මතක සියල්ලම උඩට ආවා 
ඒ මම පොඩි කාලේදී බලාපොරොත්තු උන ලියුම නෙවෙයි 
වෙනත් රාජකාරි ලියමනක් 
ඒත් ඒ බලාපොරොත්තුව අදටත් යටි හිතේ පැලපදියම් වෙලා 
ඔව් මං තාම එයාගෙන් පිළිතුරු ලියුම බලාපොරොත්තු වෙනවා 
තාමත් අබමල් රේණුවක වෙනසක් නොකර 
මුළු ලෝකෙම එක්ක මමත් එයාට ආදරය කරනවා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.