Ads Top

මේ ඉර හඳ යට - ඇයයි මමයි


මේ ඉර හඳ යට - ඇයයි මමයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඇගේ මුහුණ මැද නහයක් ඇත 
මගෙත් මුහුණ මැද නහයක් ඇත 
ඇස්, ඉස්, මස්, ලේ සියල්ල ඇත 
අප දෙදෙනාගේම එක ලෙසට 
ඇයත් මාසික ඔසප් නීතියට යටයි 
මමත් ඒ නීතියට යටයි 
දිනෙක ඇයත් මාතෘත්වය ලබාවි 
දිනෙක මමත් එසේම වේවි 
මා දුන් ආශ්වාසයක් ඇය ප්‍රාශ්වාස කරාවී 
ඉතිං මා නඩු දමන්නද ? 
ඇයට විරුද්ධව මාගේ හුස්ම හොරාගත් වරදට 
මේ දේශය මගේමද ?
ඇයට බිම් අඟලක් අයිති නොවේද ?
ඇගේ කඩෙන් මා රෙදි ටික ගන්නේ නම් 
මගේ කඩෙන් ඈ සිල්ලර ටික ගන්නේ නම් 
අපි අපි බෙදෙන්නේ කෙසේද ? 
වෙන්වී ජිවත් වන්නේ කෙසේද ?
අසමාන නැති අපි 
සමානද නැති අපි 
මේ ඉර යට මේ හඳ යට හුස්ම ගන්නෙමු 
අපව භේද කරනවුන්ට හොරෙන් 
මා බුදුන් වහන්සේට අත් එකතු කර නමදී 
ඇය අල්ලාහ් දෙවියන්ට අත් ඔසවා නමදී 
ඇසුවාද අප හදවත් යදිනා දේ 
ඔබට, රටට සාමය සමාදානය සෞභාග්‍යය 
ඔබට, රටට නිදුක් නිරෝගී බව 
හැකිනම් පුංචි සමාවක් දෙන්න අපට,
ඔබ සිතනා පරිදි, 
ඇය මුසල්මානුවෙක් වූ වරදට 
මා ඇයට කත් අදිනවා යැයි හැඟෙන වරදට 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.