Ads Top

Leader and The Real Leader - නායකයා සහ සැබෑ නායකයා


Leader and The Real Leader - නායකයා සහ සැබෑ නායකයා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට මගේ ශාස්තෘන්වහන්සේ ආගමක් නොදුන් අතරම ඉතාමත් පැහැදිළි දර්ශනයක් දුන් සේක. ඔහු තුන්ලොවට අග්‍ර වූ මහා ප්‍රඥාවන්ත අමාමෑණි බුදුපියාණන් වහන්සේ නම් වෙයි. මා හට මේ නාමය තුල ගැටළුවක් තිබිණි. ' මෑණි ' සහ ' පියාණන් ' යන අරුත් දෙකම තනි පුද්ගලයෙකුට භාවිත වන එකම මිනිසා ඔහුයි. ඒ මන්ද ? මම පිළිතුරු ලද්දෙමි. මවක් ළඟ තිබෙනා මාතෘත්වයත්, මෙලෙක් බවත්, උණු වීමත්, අසීමිත සෙනෙහසත් ඇති නිසා ඔහු ' මෑණි ' යන ගෞරවය නාමයට හිමිකම් කියයි. එලෙසම පියෙකුගේ පීතෘත්වයත්, තද බවත්, දරදඬු බවත් නිසා ඔහු ' පියාණන් ' යන ගෞරව නාමයට හිමිකම් කියයි. 

අසනා බණ පදයක් ගානේ ජීවිතයට ගන්නට දෙයක් තිබෙනු නොඅනුමානයි. පෙරදින ඇසූ බණ පදයක මිහිරියාවෙන් මා මේ සටහන තබමි. පෙර අසා තිබූ ධර්ම කාරණා ඒ අයුරින්ම දේශකයාණන් වහන්සේ විග්‍රහ කළ නමුදු එහි හදවතට දැනෙන යමක් තිබුණි. බුදුන් වහන්සේගේ පැතිකඩින් සැමදා සිත් පහන් සංවේගය ඇති කරගන්නා මුත් දෙවැනි පාර්ශවයේ පැතිකඩ අන් කවරදාටත් වැඩියෙන් සිතට පහන් සංවේගය ඇති කළේය. ඒ අන්කිසි කතාවක නොවෙයි, සුදොවුන් රජතුමන්ගේ නීතිය හිස් මුදුනින් බුදුපියාණන් වහන්සේ පිළිගැනීමයි. 

බෞද්ධ දර්ශනය තුල කිසිවෙකුට නීති නැත. යහපත මෙන්ම අයහපත කිරීමට අයිතිය ඇත්තේ එම පුද්ගලයාටම පමණි. යහපතේ ගුණ විපාක මෙන්ම යහපතේ අගුණ විපාක පහදා දීම බුදුන්වහන්සේ කළ දෙයයි. කිසිඳු අවස්තාවක ' එපා ' යැයි වදනක් මා බුද්ධ චරිතයේ අසා නැත. අසා ඇත්තේ ' මෙහෙම කළොත් මෙහෙම වෙයි ' යන වදන් සමූහයයි. නීති නොතිබූ බෞද්ධ දර්ශනයේ, නීති ඇතිවූවා නම් ඇතිවූයේ උන්වහන්සේගේ නිහතමානී පිළිගැනීම නිසාමවෙනි. එය මැනවින් පිළිඹිබු වන්නේ " දෙමාපිය අවසරයෙන් තොරව දරුවන් මහණ කීරීම නොකරන්න " යන සුදොවුන් මහරජතුමන් කළ ඉල්ලීම බුදුන් වහන්සේ පිළිගැනීමත් සමඟය. අදටත් නොවෙනස්ව දෙමව්පිය අවසරයෙන් තොරව කිසිඳු පන්සලක දරුවෙක් ශාසනගත කෙරෙන්නේ නැත. 

" ඔබවහන්සේ බොහොම ලොකු වැරද්දක් කළේ, ඔබවහන්සේ මටත් නොකියා ගිහිල්ලා පැවදි උනා, මං මුකුත් කිව්වේ නෑ නන්ද හිටපු නිසා, ඔබවහන්සේ නන්ද එක්කගෙන ගිහිං පැවිදි කළා. මං ඒත් මුකුත් කිව්වේ නෑ රාහුල ඉන්න නිසා, ඔබවහන්සේ දැන් රාහුලවත් පැවිදි කළා. දැන් මට කවුරුත් නෑ. මීටපස්සේ ස්වාමීනි දෙමව්පියන්ගෙන් අහන්නේ නැතුව දරුවන් පැවිදි කරන්න එපා "

- පුත්ත පේමන් බන්තේ චම්මන් චිත්වා චවින් චින්දති  -

" ස්වාමීනි දරු සෙනෙහස අහිමි වෙනවා දැනෙනකොට ඇඟ පසාරු කරගෙන යනවා. ලේ, මස්, නහර සිඳගෙන යනවා. ඒ වේදනාව උහුලන්න හරි අමාරුයි. ඒ නිසා දෙමාපියන්ගෙන් අහන්නේ නැතුව දරුවන් පැවිදි කරන්න එපා " 

සුද්ධෝදන රජතුමන් බුදුන් වහන්සේ අභියස මේ ඉල්ලීම කළා. අතිශය ඇහුම්කන් දෙන නිහතමානී පුද්ගලයෙකු වූ උන් වහන්සේ එවේලාවෙහිම දෙමව්පිය අවසරයකින්, වගකිව යුත්තෙකුගේ අවසරයකින් තොර දරුවන් පැවිදි නොකරන ලෙස ශික්ෂා පදයක් පනවන ලදී. 

~ අන්න එයයි නායකයෙකුගෙයි සැබෑ නායකයෙකුගෙයි වෙනස ~ 

* පෝදා වැඩසටහනකින් ගත් කරුණු ඇසුරෙනි. 

- අනූ 



Siththam Maya | Anu Perera. Powered by Blogger.