Ads Top

සිනමාව සහ කාන්තාව - Inoka, Damitha, Anoma, Ajith with Narada


සිනමාව සහ කාන්තාව -  Inoka, Damitha, Anoma, Ajith with Narada

 සිත්තම් මායා | අනූ පෙරේරා 

විවේකී ඉරිදා දිනයේ, නාලිකා සියල්ලකම පාහේ රටේ බහුතරයකගේ සිදු වුනු මඟුල් තුලා මහා ඉහළින් කතා වෙන සෝචනීය මොහොතක රූපවාහිනියේ දුරස්ථ පාලකය අතට ගත් මම අංක එකේ සිට අහු වෙන සියලු නාලිකා ඉබාගාතේ එහෙට මෙහෙට මාරු කරමින් බැලුවේ වැදගත් යැයි හැඟෙන යමක් මේ රූප පෙට්ටියේ යනවාදැයි සොයමිනි. අංක හත දක්වා කිසිඳු වැදගැම්මක් යැයි සිතෙන දෙයක් විකාශනය නොවූයෙන් පසු අංකයකට නොයා රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්නට මම තීරණය කළෙමි. ක්‍රියා විරහිත බොත්තම ඔබනට අත යවත්ම වාසනාව හෝ අවාසනාව කැන්දමින් දුරස්ථ පාලකය මා අතින් වැටුනේ කිසියම් බොත්තමක් එබෙමිනි. ඒ අට වැනි නාලිකාවේ බොත්තමයි. නමින් " දෙරණ ටීවී " නාලිකාවයි. හිඳගෙන සිටි තැන සිටම දුරස්ථ පාලකය ගැනීමට බිමට නැවුණු මට ඇසුණේ මා ඉතා කැමති නිවේදක මහතෙකුගේ කටහඬයි.

ඔහු, නාරද බක්මීවැව. විශේෂ හේතුවක් නැතිවම මම ඔහුගේ කතා ශෛලියට ඇල්මක් දක්වමි. ඔහු වටා මා ආදරය කරන චරිත දෙකක් සහ මා නොදන්නා චරිත දෙකක් වාද හරඹයක සිටින බව මම දුටුවෙමි. කුතුහලය ආශ්වාස කළ මම ඊළඟ තත්පරයේදී සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට මහත් වෙර දැරුවෙමි. මා ආදරය කරන චරිත දෙක සිටින බැවින් එය එසේ මෙසේ කතිකාවතක් නොවන බව තීරණය කරමින්ම කුතුහලයෙ පිළිතුරු ප්‍රශ්වාස කළෙමි. කතිකාවත දිග හැරී තිබුණේ " සිනමා කර්මාන්තයේ කාන්තා ශ්‍රම දායකත්වය " පිළිබඳවයි. ඒ කාලෝචිත මාතෘකාවට සම්මාදම් වූ මා ගරු කරනා ද්වීචරිත නම්, චිත්‍රපට අධ්‍යක්ෂිකා, ඉනෝකා සත්‍යාංගනී සහ ප්‍රවීණ කාලාකාරිනි, දමිතා අබේරත්න යි. 

" සුළන් කිරිල්ලි " තම අධ්‍යක්ෂණයෙන්, ඉනෝකා සත්‍යාංගනී  බිහිකළ, ගෞරවයට පාත්‍ර වූ සමාජයේ සැඟවුණු පැතිකඩක් විදහා දක්වන චිත්‍රපටයකි. ලාංකීය සිනමා කර්මාන්තය තුල විවිධ ලේබල ඇලවුනු චිත්‍රපටයක් වුන නමුත් ජාත්‍යන්තරය නම් ඇගේ දස්කම් වලට නිසි ඇගයීම ලබා දෙන්නට දෙවරක් නොසිතා ඇති බව විකිපීඩියා තොරතුරු හරහා මා දැනගත්තෙමි. 

එලෙසම තමන් ලද චරිතයට උපරිම සාධාරණත්වයක් ඉටු කරන කලාකාරිනියකි, දමිතා අබේරත්න. දක්ෂයෙක් නොව අති දක්ෂයෙකි. ඇගේ දස්කම් මා මාගේ දෑසින්ම දැක ඇති අත්දැකීමෙන් කියමි. ප්‍රසාද් සමරතුංග මහතාගේ නිර්මාණාත්මක තෙලිතුඩින් ලියැවුනු හර්ෂ උඩකන්ද මහතාගේ අනර්ඝ අධ්‍යක්ෂණයෙන් හැඩ කළ ඉදිරියේදී සම්ප්‍රාප්ත වීමට නියමිත චිත්‍රපටයක හඬ කැවීම් අංශයේ වැඩ කටයුතු කිරීමට ලද මහඟු අවස්ථාවේදී " දමිතා සහ දක්ෂ " යන සංකලනය කෙතරම් ගැලපෙනවාද යන්න මම සියැසින් දුටුවෙමි. 

සිටි අනෙක් චරිත ද්විත්වය මා මීට පෙර දැන නොසිටියත් ඔවුන් අතිමහත් සේවාවක් නිහඬව සිනමාව වෙත ඉටු කරන බව සිතුණි. ඔවුන් නමින් අනෝමා සහ අජිත් විය. වාද හරඹයේ කටකාරියන් දෙදෙනා වූවේ ඉනෝකා සහ අනෝමා යි. ඔවුන් දෙදෙනා තුල තිබුණු කාන්තා පෞර්ෂය මෙන්ම කෙලින් කතා කිරීමේ හැකියාව මා පුදුමයට පත් කරවිය. රටේ ප්‍රසිද්ධ මාධ්‍යක් ඉදිරියේ නාමිකව චෝදනා කිරීමට තිබුණ ඔවුනගේ ගට් එක, මතක් වන වාරයක් පාසා සිතේ ඇතිවන්නේ ඉමහත් ගෞරවයකි. වරෙක දමිතා ඇය මුහුණ පෑ ගැටළුවක් ගැන සඟවමින් කතා කරන විට ඉනෝකා ඇය වෙනුවෙන් කතා කිරීමට අවසර ගත්තාය. ඒ දමිතා අධ්‍යක්ෂණය කළ 8.30 පටියට ඉහළින්ම ලකුණු ලබාගත් ටෙලිනාට්‍යයක් විකාශනය නොවීමේ සිදුවීමක් පිළිබඳවයි. දමිතා කීමට පැකිළුණු කාරණාව පහදන්නට ගට් ගත්තේ ඉනෝකා විසිනි. ටෙලි නාට්‍ය විකාශය නොවීමේ හේතු කාරණා විමසන විට එය වැඩිහිටියන්ට පමණයි ලේබලය වැදී ඇති බව සඳහන් කොට ඇති බවත් කෙසේ හෝ, විකාශය ලිංගික අල්ලසක් මත සිදු කළ හැකි බවත් රූපවාහිනී සංස්ථාවේ වගකිවයුතු බලධාරියෙක් විසින් දමිතා අබේරත්න හට යෝජනා කර ඇත. යෝජනාව ප්‍රතික්ෂේප කළ වරදට ඇයට ඇගේ ටෙලි සිත්තම අවුරුදු හයක් (6) කුස දරාගෙන සිටීමට සිදු වී ඇත. 

සුමිත්‍රා පීරිස් උදාහරණයෙන් මේ නිදහසට කරුණු කීමේ අදෝනාව නවතන ලෙස අජිත් මහතා කිවූ නමුත් ඊට තරයේ විරුද්ධ වුනු අනෝමා ඇගේ වදනින්ම පැවසුවේ, " අමතක කරන්න එපා සුමිත්‍රා පීරිස් කියන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ කියලා " යනුවෙනුයි. කාසි මත නොඉපදුන කුරුණෑගල අනූ පෙරේරා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන්නට මවන සිහිනයේත් සහ සුමිත්‍රා පීරිස් නම් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මැතිනියගේත් සිහිනය එක උන පලියට අප දෙදෙනාටම එකම කුලකයකට රිංගන්නට නොහැකියි. අප දෙදෙනාට මේ සමාජ තරලය නිර්මාණය කර ඇති වපසරිය වෙනස්ය. 

මේ කාර්මාන්තය කාන්තාවකට නිසි තැන දෙනවාද නොදෙනවාද ප්‍රශ්නය මා තුල නැත. නමුත් සමාජීය වශයෙන් සහ සිනමා කර්මාන්තය තුළින් අසන්නට ඇති ප්‍රශ්න දෙකකි. " සමාජය කාන්තාව ලිංගික සෙල්ලම් බඩුවක් සේ සලකනවද / නොසලකනවාද ? " සහ " සිනමාව කාන්තාවට කැපද / අකැපද ? " 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.