Ads Top

කොලොම්පුරේ කෙලෙසෙන මල්


කොලොම්පුරේ කෙලෙසෙන මල් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මිතුරන් කිහිප දෙනෙකු එකතුව කොටුවේ සැඟවුණු ලස්සන හොයාගෙන යන වාර්තාමය වැඩසටහනකට සහභාගී වෙන්න පහුගිය දවසක මටත් අවස්තාව ලැබුණා. කොටුවේ හරස් විදියකට ගිහිං අත ඇරියොත් ආයේ එන්න පාර හොයාගන්න බැරිව හිටි මට ඒ අත්දැකීම ලොකුම ලොකු අවස්තාවක් උනා පිටකොටුව ඉගෙන ගන්න වගේම පිටකොටුවේ නැහෙන ජිවිත වලට එබිකම් කරන්න. තවමත් මම ළපටියි. මාස කිහිපයකට පෙර මා විසින්ම ලියු දේ වල කිසිම පරිණත බවක් නෑ කියලයි මට හිතෙන්නේ. මගේ ජීවිතයට මේ අත්දැකීම් මදි. දවසින් දවස මිනිස්සු ගැන, අවට වට පිටාව ගැන අළුත් අළුත් දේවල් දැනගන්න ලැබෙන්නට ඕනේ. මොකද මම විශ්වාස කරනවා අන්න එතකොට මායාවකින් වැහිලා තියෙන මේ සමාජය ඉරාගෙන ගිහිං වෙනස් දෙයක් කරන්න මට පුළුවන් කියලා. අනිත් හැමෝටම වැඩිය මට මම ගැන තියෙන විශ්වාසය වටිනවා. 

කොටුවේ බිම් අඟලක් නෑරම මිනිස්සුන්ගේ දහදියට තෙත්වෙලා. අව් කාෂ්ඨකේ මිනිස්සු මේ මහපොළවත් එක්ක ඔට්ටු වෙන්නේ තමන්ගේ බඩගොස්තරෙයි, පණ කෙන්දයි රැකගන්න. උන් කරන්නේ වරදක් නෙවෙයි. සල්ලි කියන්නේ ජීවිතේද ? ඔව්, දුක් මහන්සියෙන් නිදිවරා ගෙන තමන්ගේ ශ්‍රමය සල්ලි වලට හරවා ගන්නා මිනිසුන්ට නම් ජීවිතේ මුදල් තරම්ම වටිනවා. කොටසක් තමන්ගේ ශ්‍රමය විකුණගෙන ජීවත් වෙනකොට තවත් කොටසක් තමන්ගේ දේහය විකුණගෙන ජීවත් වෙනවා. කොහොමද වැරදියි කියන්නේ ? අපි හැමෝම සල්ලි හම්බකරන්නේ අපිට පුළුවන් උපරිමයෙන් මිසක් සමාජයක් දෙන තීන්දු තීරණයකින් නෙවෙයි. 

ගමේ ඉන්න කුමාරි වෛවාරණ කොළොම්පුරයට එන්නේ තමන් දන්න දෑතේ රැකියාවකින් කාසි පනම් එකතු කරගෙන, තාත්තගේ අසනීප හොඳ කරගන්නයි, අම්මගේ රත්තරන් බඩු සින්න නොවී බේරගන්නයි, මල්ලිව හොඳ ඉස්කෝලෙකට දාලා උගන්නවන්නයි හිතාගෙන. හැබැයි මේ රටේ පිංවන්ත දේශපාලකයෝ කුමාරි වගේ ළමයින්ට උදා කරපු අධම සමාජ තත්වය උඩ ලිපිකරු රැකියාවක්වත් කරන්නට ඔවුන්ට සුදුසුකම් නෑ. ඇය මෙන් වුවන්ගේ ඉරණම ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රමය බාල්දු කරමින් යහමින් ගලපා රැකියා ලබාදීමට ඔවුන් වැඩ සලසා ඇත. කුමාරි අතට ගන්නා වැටුපෙන් ඇයගේ සියලු සිහින ඉටුකරගනිද ? 

නැත, ඇය අමතර කාසි සොයන්නට රෑ සේවයේ යෙදෙන්නේ ඇගේ කැමත්තටම නොවෙයි. මේ රටේ දේශපාලනය රට නොහැදීමේ කුහකකම නිසයි. දේශපාලනය කරන එකෙක් හරි මේක කියවනවානම්,
මතක තියාගනිල්ලා මේ රටේ ගණිකාවෝ බිහිකරන්නේ උඹලගේ කාලකණ්නි පාලනය නිසා. දුප්පත් පංතියක් උඹලා නිර්මාණය කළ නිසයි. කෙසේවෙතත් සන්තෝස විය හැකියි. ඇය සමඟ යහනට වැදෙන ( පොන්න ) පිරිමි ගැන. උන් නිසයි ඇය පැය ගණනට මොණරු හම්බ කරන්නේ. නමුත් ගැටළුව නම් උන්ට පුළුවන් වෙයිද, ඇය සමඟ කාමරයේ තනි වෙන මොහොතේ ඇයව තම සහෝදරියක සේ සලකා ඇගේ හිතට සවන් දෙන්න. ඇයි ඇයට මෙහෙම උනේ කියලා දැනගන්න. නෑ.. උන්ට බෑ. මොකද උන්ගේ ඉනෙන් පහළ දේවල් කීකරු නෑ. 

* මම මේ කතා කරන්නේ බහුතරයක ගණිකාවන් ගැන නෙවෙයි. සුළුතරයක ගණිකාවන් ගැන.   

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.