Ads Top

Selfish Anu


Selfish Anu 

සිත්තම් මායා | අනූ පෙරේරා 
සිකුරාදා සවස් භාගය යනු කොලොම්පුරවරයේ සිට රටේ නේක දෙසට ඇදෙන සියළු දුම්රියන් පාහේ සෙනඟ කදිමට කට කපන මොහොතයි. එවන් මොහොතක සවස 4 ට මිනිත්තු 5ක් පමණක් තිබියදී මමත් කොලොම්පුර දුම්රිය ස්ථානයට සේන්දු වුනෙමි. කලිසම් සාක්කුවට හැංගී තිබුණු දුරකථන අතට ගන්නා විටම ආවේ මවගෙන් දුරකථන ඇමතුමකි. 

" පුතේ, කොහෙද ඉන්නේ ? "

" කොටුව ස්ටෂන් එකේ අම්මා "

" ඒක හොඳයි, මම කියන්න ගත්තෙත් පුළුවන්නම් වේලාසන එන්න කියලා. කරන්ට් එකත් එන එකක් නෑ, "

" කරන්ට් එක නම් රෑ වෙන්න කලින් එයි ඉතිං, හරි හරි අම්මා මම කියන්නම්කෝ මොකක් හරි "

දුරකථන ඇමතුම විසන්ධි වන විටම කොලොම්පුර දුම්රිය ස්ථානයේ නිතරම ක්‍රියා කරන ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කියැවුනේ මා හට ගමන් ගත හැකි දුම්රියක ආවැඩීමයි.

" මහනුවර බලා ධාවනය වන සෙංකඩගල මැණිකේ සීග්‍රඝාමි දුම්රිය තව ස්වල්ප වෙලාවකින් අටවන වේදිකාවට දැන් පැමිණෙනවා ඇත..... "

කිසි දෙයක් සිතන්නට වේලාවක් නොතිබුණ බැවින් එම දුම්රියයේ පොල්ගහවෙලින් බැස අනෙක් දුම්රියට මාරු වීමට තීරණය කළෙමි. 

දුම්රිය නැවතීමටත් පෙර මාගේ අවසාන අවසාන මතකය වූයේ මාගේ සිරුර පිරිසක් මැද එහාටත් මෙහාටත් තෙරපෙනවා පමණි. අක්‍රීයව සිටි බැවින් සියල්ලක් ඉදිරියට ඇදෙන වේලාවේ මා ස්වයංක්‍රීයව පිටුපසට ඇදුණි. හිඳ ගැනීමට අසුන් අවසන් වී, මිනිසුන් හිට ගැනීමටත් අසුන් අල්ලාගෙන අවසානව තිබුණි. 

මා සාමාන්‍යයෙන් ගමන් කරන ගනේවත්ත දුම්රිය, සවස ගමනට මා කැමතිම දුම්රියයි. හිතමිතුරන් සමඟ කතා කරමින් හෝ අඩුම තරමින් වේයන්ගොඩ තෙක් සැප නින්දක් සහිතව ගමන් කළ හැකි දුම්රිය එයයි. 

කැන්ඩියේ අසුන් ගත නොහැකි මට එම දුම්රිය තාවකාලිකව නීරස විය. අටවෙනි වේදිකාවේ බංකුවක් මත හිඳගත් මා නැවත තීරණය කළේ ගමන් කිරීමට තවත් දුම්රිය තුනක්ම තිබියදීත් ඊළඟ හෝරාව මෙතැන සිට පස්වරු 5.15 ට ඇදෙන, මා ප්‍රිය කරන ගනේවත්ත දුම්රිය එනතෙක් අලුතෙන් කියවීමට ශිරාන් සහෝදරයාගෙන් ලබාගත් ' කරුමක්කාර කතාවක් ' පොත කියවීමටයි. 

නමුත් මව විසින් කළ ඉල්ලීම අහක දමා මාගේ සතුටෙහි ඵලක් නැති බව බැවින් අතට ගත් පොත නැවත බෑගයට දමාගෙන නව වැනි වේදිකාවට ගමන් ගත්තේ ඊළඟට පැමිණෙන කුරුණෑගල දුම්රියට ගොඩ වැදීමටයි. කවුරුත් එය හඳුන්වන්නේ ' කැලෑ කුමාරිය ' යනුවෙනි.

රතු පැහැති සාපේක්ෂ සැප අසුන් ඇති කුරුණෑගල දුම්රිය ඈතින් එනවිටම මිනිසුන් හරි හරියට පොරකෑවේ මුළු දුම්රියටම එකම අසුනක් ඇති සේය. 

දෙවියන්ගේ පිහිටෙන් දුම්රිය නැවතීමට පෙර මා දුටුවේ මරදාන දුම්රිය ස්ථානයේදීම අසුන් සියල්ල අවසන්ව ඇති බවයි. දෙවැනි පංතියේ පමණක් නොවේ තෙවැනි පංතියේද හිඳ ගැනීමට කිසිඳු තැනක් කොටුවෙන් නැගී එකෙකුටවත් නැති බවත් එය එදින නැගී සියල්ලන්ගේම ඉරණම බවත් සිතා හිත හදාගත්තෙමි. 

තෙරපීම මැද අනෙක් වුන් මෙන්ම මමත් සොයාගියේ සිටගෙන සිටීමට තැනක්ය. යනවා, යනවා, යනවා, කිසිවෙකු නැගිටින පාටක් නැත. නැගිට්ටත් ඒ සඳහා ඔවුන්ගේ කණ්ඩායමේ කෙනෙකු ඉදිරිපත් විය. මා සැමවිටම මාගේ සිත හදාගනිමින් සිටගෙන ආවෙමි. 

" හරි තව පොඩි වෙලාවක්නෙ " මම මටම කියාගත්තෙමි. 

" නංගි කොටුවේ ඉඳලම හිටගෙන නේද ? " අසල සිටි වැඩිමහල් සහෝදරියක් ඇසු පැනයට පිළිතුරු බැඳීමට පවා මා තුල ප්‍රියක් තිබුණේ නැත. ආයාසයකින් මුවඟට ගත් සිනහවෙන් සංග්‍රහ කොට මා බැසීමට නියමිත දුම්රිය ස්ථානයට ළඟා වෙත්ම දොර අසලට පැමිණියෙමි. එකම ඉරියව්වක සිට දොර සීමාව වෙත එනතෙක් මාගේ කකුල් වෙව්ලන බවක් දැනුණි. පාද වලින් ඇවිද්ද නමුත් සිතට වෙර යොදා ' නොවැටෙන්න ' යන ආශිර්වාදය මම මාහටම ලබා දුන්නේ, පය නැතුව වැටුනත් කෙනෙකු මා වෙනුවෙන් උදව් නොකරාවි යන හැඟීම දැනුන නිසාවෙනි. 

***

කිසිවෙකුගේ වරදක් කීමට නොසිතූ අතර හුදෙක් මා මුහුණ දුන් අත්දැකීමක් විස්තර කළා පමණි. මම මා ගැනම අනුකම්පා කළෙමි මන්ද මා හිඳගත් අසුනක් නන්නාඳුනන ඕනෑම කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඕනෑම අවස්ථාවක ඕනෑම වේලාවක මා තුළ සුදානමක් තිබුණු නමුත් මා වෙනුවෙන් කිසිඳු නන්නාඳුනනයෙකු එසේ සැදී පැහැදී නැති බැවින්. ' හොඳ හිත ' මාගේ දුර්වලතාවයක් නම් මම එම දුර්වලතාවය අවම කරගැනීමට උත්සහ කරමි. නමුත් කිසිඳු දිනෙක සමාජය මට චෝදනා නොකරන්න, ' නුඹ ආත්මාර්ථකාමියෙකු ' ලෙසින්. 

- අනූ 

Post a Comment
Siththam Maya | Anu Perera. Powered by Blogger.