Ads Top

ඇමතුමක තිරිංග - රියදුරු දෑතට දෙයියන්ගෙම පිහිටයි


ඇමතුමක තිරිංග - රියදුරු දෑතට දෙයියන්ගෙම පිහිටයි

සිත්තම් මායා | අනූ පෙරේරා

එක පාරටම 120 කොළඹ - හොරණ බස් රථයේ තිරිංග ඉතා තදට වැදුණි. මා අසුන් ගෙන සිටියේ රථයේ අගම ඇති දිගු අසුනේ කොනකය. එය අපි පාසල් කාලයේ පටන් හැඳින්වූවේ  ‘ පෙම් මුල්ල ’ යනුවෙනි. ප්‍රේමවන්තයන්ට එතැන ප්‍රධානය කිරීමට තරම් දානපතියෙක් නොවුනෙමි. කෙසේ නමුත් තිරිංගය බස් රථයේ සැමට එක අයුරින් බලපෑ බවක් පෙනුණි. බියෝන්සේ ගේ සිංදුවක් මාගේ එක කණකින් කඩා වැටුණි. මුහුණු පොත මුහුණටම ඇලවිණි.

සලාකා පසුවී ඉදිරියෙන් ඇති කලර් ලයිට් සමූහය කින්ඩියට මෙන් කහපාට පසු කරගෙන රත් පැහැ විය. තිරිංග එතරම් තදට වැදුනේ ඇයි දැයි ඒ වන විටත් හරි හැටි අවබෝධයක් මා සතුව තිබුණේ නැත. තාමත් නැත. කුමන හෝ මානවයෙකුගේ අත් වැරදීමක් විය යුතුය.

ඔව් ඉතින් මිනිසුන්ට සුළු සුළු අත්වැරදීම් වෙනවා හිත හදාගන්නට තනත්ම නැවතත් වැදුණේ පෙරටත් වඩා වූ තිරිංගයකි. මෙවර කිසිඳු මුහුණුපොතක් හෝ කිසිඳු බටහිර ගායිකාවක් මා ළඟ නොවිය. පෙර සිදුවූ දෙයින් තරමක තැති ගැන්මකට පත් වූයෙන් ජංගම දුරකථනය අතේවත් නොතිබුණි. ඒ තුම්මුල්ල ට කිට්ටුවයි.

කාගේදෝ කුඩයක් මගේ හිසේ වැදුණි. එය විය නොහැක්කක් බඳුය. මා සිටියේ කොහෙවත්ය. කුඩයේ අයිතිකාර මහත්මිය සිටියේ කොහෙවත්ය. කෙසේ හෝ මා හට හොඳ පහරක් වැදුණි. කවුරුන් හෝ දැක්කාද යන සැකයෙන් මමම ඔළු ගෙඩිය හෙමීට අත ගා ගත්තෙමි. අනෙක් කොනේ පිරිමි ළමයා එය දැක ඇති බව තේරුනෙන් අත පහළට ඔබා ගත්තෙමි.

මද වෙලාවක් ගත වීමෙන් පසු එළඹුන හංදියෙන් බැසීමට නියමිතව තිබුණි. කුඩය ඇති මහත්මිය ඒ වන විට බැසගොස් තිබුණු නමුත් එය ඇසින් දුටු සාක්ෂිකරුවා තවමත් පෙම් මුල්ල අනෙත් කොනට වී විරිත්තාගෙන සිටියේය. එය නොදුටු ගාණට බස් රථයෙන් බැසීමට ලක ලෑස්ති වුණු මා අහම්බයෙන් මෙන් බස් රථයේ රියදුරු මහත්තයා දුටුවෙමි. ඔහු තවමත් ජංගම දුරකථනය එක් කණක අමුණාගෙන එක් අතකින් සුක්කානම හැසිරවුවේය.

‘ රියදුරු දෑතට දෙයියන්ගෙම පිහිටයි ’ මුමුණමින් බස් රථයෙන් බැස ගියෙමි.


#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.